The-husband-secretly-went-to-Dubai-while-his-pregnant-wife-was-quarantined-at-home

නිවෙසින් බැහැර නොයන ලෙසට උපදෙස් දී තිබූ කොරෝනා ආසාදිත ගැබිනියගේ ස්වාමිපුරුෂයකු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විදෙස්ගතවී ඇතැයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා පැවැසීය. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දික්වැල්ල ග්‍රාම නිලධාරි වසමේ පදිංචිව සිටි 28  හැවිරිදි එක්දරු පියකු මෙලෙස විදෙස්ගතවී ඇති බවත්, 

ඔහු ඉකුත් 28 වැනිදා ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් ඇති බවත් අත්තනායක මහතා සඳහන් කළේය.  මොහු මීට මාස කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයේ සිට නිවෙසට පැමිණ ඇති අතර, චීසා කාලසීමාව ඉක්මවා යන බැවින් ඔහු නැවත රැකියාව සඳහා විදෙස්ගත වූ බව නිවැසියන් ප්‍රකාශ කළ බවද අත්තනායක මහතා පැවැසීය.


නිවෙසේ කොවිඩ් ආසාදිත ගැබිනිය, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඉකුත් 16 වැනිදා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිත  බවට හඳුනාගෙන තිබූ බව ඔහු සඳහන් කළේය.  ඒ අනුව ලබන 01 වැනිදා තෙක් නිවෙසේ නිරෝධායනය වන ලෙසට දැන්වීම් අලවා තිබියදී  ගැබිනියගේ ස්වාමිපුරුෂයා, නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පෙරේදා (28 වැනිදා) අලුයම විදෙස්ගතව ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 -චමින්ද වැවතැන්න-