ලබන අඟහරුවාදා සිදුකිරීමට නියමිත බවට දේශපාලන ආරංචි වාර්තාකර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය නැවත කල්දමා ඇතැයි වාර්තාවේ.
මීට හේතුවී ඇත්තේ රජයේ අභ්‍යන්තරයේ වෙනසක් මේ දිනවල සිද්ධ කිරීම ගැටලුකාරී බවට විවිධ පාර්ශ්ව පෙන්වා දීමත් යෝජිත ඇතැම් ඇමතිකම් සම්බන්ධයෙන් මතුව තිබෙන නොසතුටුකම් නිසා බවත් වාර්තාවේ.
ඒ අනුව නව සංශෝධන ක්‍රියාත්මක කිරීම මසකින් පමණ කල් දමා ඇත.
ලබන මාසේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට මෙන්ම තම මිණිබිරිය බැලීමට අමෙරිකාව බලා පිටත්ව යාමට සූදානමින් මේ දිනවල ජනපතිවරයා පසුවන අතර ඔහු එහි ගොස් නැවත පැමිණි පසුව නව සංශෝධන කරනු ඇතැයි තතුදත් ආරංචි වාර්තා කළේය.


නව වෙනස්කම් අනුව සෞඛ්‍ය ඇතුළු ප්‍රධාන විෂයන් 7ක අමාත්‍යවරු මාරුකිරීමට නියමිතව තිබූ බව පසුගිය සතිය මුලදී වාර්තාවී තිබුණ අතර දින දෙකකට පසුව වාර්තාවූයේ සෞඛ්‍ය විෂය වෙනස් නොකරන බවයි.
කෙසේ වෙතත් අලුත්ම ආරංචි අනුව සෞඛ්‍ය විෂය මාරු කිරීම සිදුවන බව නැවත වාර්තාවේ. එසේම මුලින් වාර්තාවූ පරිදි අධ්‍යාපන ඇමතිවරයෙකු හා උසස් අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙස දෙන්නෙකු පත්කිරීමටද යෝජිතය.නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා බාරව සිටින එක් විෂයක් සංශෝධනය කරන්නටද නියමිතය.
ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමති ධූරය ලබාගන්නට අදිමදි කිරීම නිසා එය වෙනස් කිරීම ගැනද තවම සාකච්ඡා අවසන් නැතැයි වාර්තාවේ.

  • පෙර වාර්තා


ලබන සතියේ කැබිනට් වෙනසක් නව සෞඛ්‍ය ඇමති රමේෂ් - නව අධ්‍යාපන ඇමති ප්‍රසන්න


ලබන සතියේ කැබිනට් සංශෝධනයේදී 'සෞඛ්‍ය' වෙනස් වෙන්නෑලු අධ්‍යාපන දිනේෂ්ට