එංගලන්තයේ හෙඩිංග්ලේහිදී පැවති ඉන්දු-එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගය අතුරතුරදී පිටිය මැදට අනවසරයෙන් ඇතුල් වූ ඩැනියෙල්වි ජාවිස් (ජාවෝ) හට ජීවිතාන්තය දක්වාම හෙඩිංග්ලේහිදී තරග නැරඹීම තහනම් කිරීමට යෝක්ෂයර් ක්‍රිකට් ක්‍රීඩා සමාජය පියවර ගෙන ඇත. ඊට අමතරව ඔහුට විශාල මූල්‍යමය දඩයක් පනවන බවද මෙම ක්‍රීඩා සමාජය තහවුරු කරතිබේ.පසුගියදා අවසන් වූ ඉන්දු එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගයේත් තෙවැනි දිනයේදී ජාවෝ එක්වරම පිටියට ඇතුළු වූයේ ඉන්දීය දෙවැනි ඉනිමේ රෝහිත් ශර්මාන්ගේ දැවීයාමෙන් අනතුරුවය. එහිදී ඔහු පිටියට ඇතුළු වූයේ පන්දුවට පහරදීමට සැරසෙන පිතිකරුවෙකු ලෙස සම්පූර්ණ ආයිත්තම්වලින් සැරසී පිත්තක්ද අතැතිවය. නමුත් වහාම ක්‍රියාත්මක වූ ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරින් ජාවෝ පිටියෙන් පිටතට රැගෙන ඒමට කටයුතු කළේය.
ජාවෝ ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලිය තුළදී අනවසරයෙන් පිටිය මැදට පැමිණි දෙවනි අවස්ථාව මෙය විය. මෙහිදී ලෝඩිස්හිදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේදීද ඔහු පිටිය මැදට පැමිණියේ ඉන්දියාව පන්දු රකිමින් සිටින අතරතුරදීය. එහිදී ඔහු සැරසී සිටියේ ඉන්දීය පන්දු රකින්නෙකුගේ ජර්සියකිනි. එහි පිටුපස ඔහුගේ නම වූ 'Jarvo' හා අංකය ලෙසින් '69" ලියා තිබීමද විශේෂත්වයකි. එහිදී ඉන්දීය කණ්ඩායමේ පළමු සුදු ජාතික ක්‍රීඩකයා ලෙසින් උපහාසාත්මකව ඔහුව හැඳන්වීමටද මාධ්‍ය ක්‍රියා කළේය.
*කවුද මේ ජාවිස් ?
ජාවෝ ඔහුගේ ට්විටර් ගිණුම තුළ ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ උපහාසාත්මක නළුවෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා ප්‍රායෝගික විහිළු (Prank) සිදුකරන්නෙකු ලෙසිනි. ඊට අමතරව ඔහු යූටියුබ්, නාලිකාවක් මෙහෙයවන්නෙකු ලෙසින්ද හඳුනාගෙන ඇත. ඔහු මීට පෙරද සජීවී තරග මැදව එක්වරම කඩා පැනීම් කිහිපයක්ම සිදු කර ඇත. ඉන්දීය සංචාරය තුළදී සිදු කළ ක්‍රියාවන් හේතුවෙන් දඩයකට හා තරග තහනමකට ලක්වීමට ජාවෝට සිදුවූවත්, 'මෙමගින් ඔහුගේ ප්‍රසිද්ධිය විශාල වශයෙන් වැඩිවූ බව විචාරකයෝ අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ජාවෝ සතුවූ යූටියුබ් නාලිකාව දායකකරුවන් (subscribers) ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
(ඕෂිත වරකපිටිය)
0 Comments