ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ට වයිරසය වෙනත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ආරම්භ වී දින 2 ක් ගතවනතුරුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව අන්තර්ජාතික නේචර් (Nature) සඟරාව අනාවරණය කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මීට අදාළ වාර්තාව උපුටා දක්වා ඇති අතර, එම වාර්තාවට අනුව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන බෙන්ජමින් කව්ලිං මීට අදාළ අධ්‍යයනයක නිරතව ඇත.
එම අධ්‍යයනයේදී හෙළිවී ඇති ආකාරයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මතුවීමට පෙර වයිරසය ව්‍යාප්තවීම පැහැදිලිවම ආරම්භ වේ. ඒ අනුව මෙම ප්‍රභේදය ‘වැළැක්වීම වඩාත් අපහසු’ බව බෙන්ජමින් කව්ලිං ප්‍රකාශ කර තිබේ. ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමට පෙර සාමාන්‍ය කොවිඩ් ආසාදිතයකුට රෝග ලක්ෂණ මතුවීමට දින 6 කට වඩා ගතවන අතර පස්වන දිනයේ මැද භාගයේදී වයිරස ව්‍යාප්තිය (බෝකිරීමේ හැකියාව) ඇතිවේ. එහෙත් ඩෙල්ටා ප්‍රභේදයේදී වයිරස ව්‍යප්තිය සහ රෝග ලක්ෂණ පෙන්වීම අතර දින කිහිපයක පරතරයක් පැවැතීම බරපතළ තත්ත්වයක් බව මෙම පර්යේෂණය අනාවරණය කරයි. එසේම මෙම පර්යේෂණයට සහභාගි වූවන්ගෙන් 74% කටම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන්ගෙනි.
රටේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ (බී. 1617.2) විකෘතිතා හඳුනා ගැනීම ඉහළ යෑමත් සමග පී.සී.ආර්. (PCR) පරීක්ෂණ මගින් රෝග විනිශ්චයට බාධා එල්ලවීමේ හැකියාවක් පවතී දැයි විශේෂඥයෝ අධ්‍යයනය කරමින් සිටිති.
මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ එස්.එස්. 222වී, එස්.ඒ. 701 එස්, එස්.ඒ. 1078 එස් සහ ආර් - 24 යන විකෘතිවීම් මෙරටින් හඳුනාගෙන ඇති අතර කොළඹ මුළුමනින්ම ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයට අනුව ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිත පුද්ගලයන් 292ක් අනුක්‍රමික දත්ත මගින් තහවුරු කර ඇත. දැනට හඳුනාගෙන ඇති නවතම විකෘතිතාව වන ආර් - 24 පිළිබඳ අදහස් පළ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන ලද්දේ පී.සී.ආර්. (PCR) වැනි ඇතැම් රෝග විනිශ්චය කිරීමේ ක්‍රමවේදවලට මෙම නව විකෘතිතා බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බවයි. එම නිසා එන්නත් නිපදවීමේ දී මෙම නව ජාන විකෘතිතා පිළිබඳ වැඩි අවධානයක් යොමු විය යුතු බව ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. මේ අතර ඩෙල්ටා සුපිරි ප්‍රභේදයක්, පිළිබඳව පළකෙරෙන අනාවැකි පිළිබඳ අදහස් පළකරන ආචාර්ය ජීවන්දර පෙන්වා දෙන්නේ ‘සුපිරි ප්‍රභේදයක් යනු ජාන විකෘතිතා හේතුවෙන් නිර්මාණය විය හැකි’ නරකම තත්ත්වයක් බවයි.
(නයන තරංග ගමගේ)
0 Comments