Without money the son beheaded his mother and took the gold necklace

අංශභාග රෝගයෙන් පෙළුණු තම 65 හැවිරිදි මවගේ ගෙල කපා ඝාතනය කරන ලද බව කියන පුත්‍රයා 10 වැනිදා සවස සැකපිට අත්අඩංගුවට ගත් බව එරාවුර් පොලිසිය කියයි. 

මවගේ රන් මාලය ඉල්ලා නොලැබුණු විට, කෝපයට පත් පුතා මෙසේ මව ඝාතනය කර ඇතැයි පරීක්ෂණවලදී හෙළි වූ බව ද පොලිසිය පවසයි.  සැකකරු තදින් මත්පැන්වලට ඇබ්බහි වූ අයකු බවත්,

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු තදින්ම මත්පැන් පානය කර සිටි බවත් එරාවුර් පොලිසියේ ප්‍රකාශකයෙක් කීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ එරාවුර් චෙංකලාඩී කුමාරවේලියාර් ගම්මානයේ පදිංචිව සිටි වේලුපිල්ලේ පොන්නුතුරෙයි තවනි නමැති 65 හැවිරිදි තිදරු මවකි.  සැකකාර 40 හැවිරිදි වේලුපිල්ලේ චන්ද්‍රන්  නමැත්තා බීමතින් පැමිණ නිතර නිතර රෝගී මවට පහර දෙන බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පැවැසීය.

ගෙල සිඳීමට යොදාගත් බවට සැලකෙන පිහියක් ද පොලිස් බාරයට ගෙන ඇත.  මීට වසර 2කට පමණ ඉහත දී තවමනි නමැත්තියගේ සැමියා මියගොස් ඇති අතර, එතැන් පටන් ඇය නිවෙසේ හුදෙකලාව ජීවත් වී ඇති බවත්, ඇගේ දියණියන් දෙදෙනා පැමිණ කෑම බීම දී උවටැන් කර ඇති බවත්  පොලිසිය කියයි.  මඩකළපුව දිසා බාර නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාගේ අධීක්ෂණය යටතේ මඩකළපුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත එරාවුර් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය- -