Two-women-involved-in-ice-smuggling-arrested-at-Sapugaskanda

නිරෝධායන ඇඳිරි නීතිය අතරතුර අයිස් මන්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් සපුගස්කන්ද පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (21දා)බියගම රක්ගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකාරියන් 30,35 හැවිරිදි වියේ පසුවන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි විවාහක අයවලුන් බවත් මොවුන් තාවකාලිකව රක්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවද පොලීසිය පවසයි. 





අදාළ පිරිස සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පනහකට අධික අයිස් මන්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 200ක්ද පොලිස් භාරයට ගෙන ඇත. නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ සපුගස්කන්ද පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරන්නන් සහ විවෘත කර තිබෙන වෙළෙඳසැල් පිළිබද සොයා බැලීමට යොදවා තිබූ පොලිස් ජංගම රථයක නිලධාරින්ට මායිම, රන්ගහවත්ත ප්‍රදේශයේ විවෘත කර ඇති මුව ආවරණ වෙළඳ සැලක් ඇස ගැටී ඇති අතර මේ පිළිබඳ ඇති වූ සැකයක් මත පොලිස් උපායදූතයෙකු යොදවා සිදු කළ වැටලීමකදී අදාළ ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමටත් හැකි වී තිබේ.

 එහිදී උපායදූතයකු ලෙස වෙස් ගත් පොලිස් නිලධාරියාට සැකකාර කාන්තාව පවසා ඇත්තේ ද්‍රව්‍ය ලබා ගැනීමට මාබිම රග්ගහවත්තේ විවෘත කර ඇති මාස්ක් කඩය පිටුපසට මුදල් රැගෙන පැමිණෙන ලෙසයි. එම ස්ථානයට ගිය නිලධාරියාගෙන් මුදල් රැගෙන සැකකාර කාන්තාව මන්ද්‍රව්‍ය රැගෙන ඒමට මාස්ක් කඩය පිටුපස ඇති නිවස තුළට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් එම නිවස වටලා එහි තිබූ අයිස් මන්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 200ක්, රුපියල් ලක්ෂ හතක මුදලක්, විදුලි තරාදියක් හා ජංගම දුරකථන 02ක් ඇතුළුව මෙම ජාවාරමට සම්බන්ධ නිවසේ සිටි තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබ තිබේ.මෙම නේවාසිකාගාරයේ මීට පෙරද වෙනත් සැකකරුවෙකු සත්තකයේ තිබී හෙරොයින් කිලෝ 110ක් සොයා ගත් බව පවසන පොලීසිය කිසිදු සොයාබැලීමක් නොකර ආරක්ෂා සහිතව මෙවැනි ජාවාරම් සිදු කිරීමට නේවාසිකාගාර පහසුකම් සැපයු අදාළ නේන්වාසිකාගාරයේ හිමිකරු වූ 59 හැවිරිදි පුද්ගලයෙකුද පොලිස් භාරයට ගෙන ඇත.



 මේ ස්ථානයේ තිබූ කුඩා ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මොවුන්ට මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය අනාවරණය කර ගැනීමට පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරයි. අත්අඩංගුවට පත් සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුලසේකර, නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ එම්.එච්.එම්. මුබාරක්, සැරයන් චමින්ද, කොස්තාපල්වරුන් වන රත්නායක, කුමාර, පණ්ඩිත, ගුණසේකර, කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රියදර්ශනී යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබිණි.

(දෙල්ගොඩ - සුදන් පුබුදු කිර්ති )-