වැලිමඩ ගල්කඩල මැදහින්න ප්‍රදේශයේ වළ දමා තිබූ 36 හැවිරිදි දෙදරු මවකගේ මළසිරුරක් පෙරේදා (23 වැනිදා) වැලිමඩ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ජයසේකර ඉදිරියේ ගොඩ ගත්තේය.
එලෙස ගොඩ ගත්තේ අමානුෂික ලෙස ඝාතනය කර තිබූ රමණි සේපාලිකා නමැති දෙදරු මවගේ මළසිරුරයි. ඇය පෙර විවාහයක් සිදු කර ගෙන ඇතත්, පසුව එම විවාහය අතහැර හතළිස් හැවිරිදි හිටපු හමුදා සෙබළකු සමග එකම නිවසක දිවි ගෙවා ඇත. එම හමුදා සෙබළාද තම නීත්‍යනුකූල බිරිඳ අතහැර සිටි අයෙකි. මෙම අනියම් විවාහයෙන් ඔවුන් දෙදෙනාට තුන් හැවිරිදි සහ පස් හැවිරිදි දරුවන් දෙදෙනකු සිටි බවද කියැවිණි.
පසුගිය 15 වැනිදා රාත්‍රියේ මෙම දෙන්නා අතර සිදුවූ ආරවුලකදී සැකකරු අනියම් බිරිඳ ඝාතනය කර ඇතැයි මූලික පරික්ෂණවලදී හෙළිව තිබේ. අනතුරුව එදින අලුයම් කාලයේදී නිවසට මීටර් තිහක් පමණ ඉදිරියෙන් පිහිටි අතහැර දමා ඇති වගාබිමක සැකකරු විසින් සිය අනියම් බිරිඳ වළ දමා තිබේ. මෙහිදී සැකකරු අඩි 4ක පමණ වළක් කපා කාපට් එකකින් ඔතන ලද මළසිරුර වළ දා ඇත.
අතුරුදන් කාන්තාව සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණිලි මත සිදු කළ පරීක්ෂණ වලදී සැකකාර අනියම් සැමියා වන හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කළ අතර ඔහු සිදු කළ ක්‍රියාව පාපොච්චාරණය කර ඇත.
මියගිය කාන්තාවගේ මළසිරුර කාපට් එකක ඔතා එදින අලුයම් කාලයේ නිවෙසේ සිට මීටර් 30ක් පමණ දුරකින් පිහිටි ඉඩමක අඩි 4ක් පමණ ගැඹුරැති වළක මිහිදන් කළැයි ඔහු කියා ඇත.
මෙම මෘත දේහය වැලිමඩ මෙහේස්ත්‍රාත් පී. ජයසේකර මහතා ඉදිරියේදී පෙරේදා (23 වැනිදා) දහවල් වළ දමා තිබුණු ස්ථානයෙන් ගොඩගනු ලැබීය.
එසේ ගොඩගත් මෘත ශරීරයේ පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එච්.එම්. සුරංග මහතා සිදුකළේය. මේ පිළිබඳව අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. පියරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.
වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර අනියම් සැමියා සැප්තැම්බර් 7 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට විනිසුරු පී. ජයසේකර මහතා පෙරේදා (23 වැනිදා) පස්වරු නියෝග කළේය. මෙසේ අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ, ඌවපරණගම උඩුහාවර කොරදේකුඹුර පදිංචි හිටපු හමුදා සෙබළකු වන ඩබ්ලිව්.ජී. ඉන්දික ප්‍රේමතිලක යන සැකකරුය.
අඹගස්දෝව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
0 Comments