කෑගල්ල නගරයේ වෙළෙඳ සංගම් මගින් අද (18දා) සිට එළැඹෙන 31වැනිදා දක්වා දින 14 ක කාලයක් කෝවිඩ් වසංගතය හේතුවෙන් කෑගල්ල නගරයේ කඩ සාප්පු වසා දැමීමට කටයුතු කළ අවස්ථාවේදී නගරාධිපති ජී.කේ. සමරසිංහ ගේ මැදිහත්වීම මත එය තාවකාලික අත්හිටුවන බව කෑගල්ල සිංහල වෙළෙඳ සංගමයේ සභාපති ආනන්ද දසනායක මහතා ඊයේ (17දා) සවස පැවසීය. 

කෝවිඩ් වෛරස ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් දිවයිනේ නගර 21ක් පෙරේදා (16)දා වනවිටසම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු සිදුකර තිබුණි.



ඊට සහයෝගය දක්වමින් කෑගල්ල වෙළෙඳ සංගමය හා පොදු වෙළෙඳ සංගමය මගින් අද (18දා) සිට එළැඹෙන 31 වැනිදා දක්වා කෑගල්ල නගරය වසා දැමීමට සීමාසහිත කෑගල්ල වෙළෙඳ සංගමයේ සභාපතිගේ අත්සනින් යුත් ලිපියක් පෙරේදා (16)දා සියලු වෙළෙඳ ව්‍යාපාරික මහත්ම මහත්මීන් වෙත යැවීමට කටයුතු සිදුකර තිබුණි. එම ලිපියේ සඳහන් කර තිබුණේ,කෝවිඩ් වසංගතය හේතුවෙන් අද අප රටේ ජනජීවිතය ඉතා බිහිසුණු භයංකාර තත්ත්වයකට මුහුණදී ඇති බවත්, දින්නෙන් දින විවිධ ප්‍රභේදයන් ඔස්සේ කෝවිඩ් වසංගතය පැතිරෙමින් දිනකට කෝවිඩ් ආසාදිතයන් 3000ක් 4000ක් දක්වා වැඩිවෙමින් පවතින බවය.

ඊට සාපේක්ෂව දිනකට කෝවිඩ් මරණ 150ක් 200ක් වාර්තා වෙන බවත් දක්වා තිබුණි.මේ හේතු කාරණා නිසා වෛද්‍ය නිලධාරීන්, වෛද්‍ය සංගම්, විද්වතුන් පක්ෂ පාට ජාති භේදයකින් තොරව නිතරම කියා සිටින්නේ, සති දෙකකට හෝ මසකට රට වසා තබන ලෙසයි.ඒ අනුව වෙළෙඳ සංගමය සහ පොදු වෙළෙඳ සංගමය අද (18)දා සිට එළැඹෙන 31වැනිදා දක්වා දින 14 ක කාලයක් කෑගල්ලේ නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට තීරණය කර ඇති බව දන්වමින් ලිපියක් සියලුම වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වෙත යොමුකර තිබුණි.



තවද ඒ සඳහා ඔබගේ ව්‍යාපාරික ස්ථානය වසාදමා සහයෝගය දක්වන ලෙසටද ඉල්ලීමක් කර තිබුණි. පසුව  සභාපති දසනායක මහතා කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ මහතා අතර දුරකථන සාකච්ඡාවක් රීයේ (17දා) පෙරවරුවේ පවත්වා තිබුණි.එම දුරකථන සාකච්ඡාවෙන් අනතුරුව ආනන්ද දසනායක මහතා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ,

"මම උදේ කෑගල්ල නගරාධිපතිවරයාට දුරකථනයෙන් කතා කළා. පස්සේ නගරාධිපතිවරයා කියා සිටියා කෑගල්ල නගරයේ ළමා නිවාස, වැඩිහිටි නිවාස තියෙනවා ඒවාට බඩු මුට්ටු ගන්නේ කොහොමද කියලා ඇහුවා. ආණ්ඩුකාර ටිකිරි කොබෑකඩුව මහතා කෑගල්ල නගරය වහන්න කියලා දලා නෑ කියලා කිවා. එහෙම වහන්න දෙන්න බෑ කියලා කිව්වා. මේ පිළිබඳ කෑගල්ල නගරාධිපති පී.කේ. සමරසිංහ මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

"කෑගල නගරයේ වෙළෙඳ සැල් 750ක් 800 ක් තියෙනවා. පසුගිය මාස දෙකේ කෝවිඩ් වසංගතය හේතුවෙන් කඩ වහලා නගර සභාවට රුපියල් කෝටි ගාණක් පාඩුවුනා. කෑගල්ල නගරයේ කඩ වහනවා නම් වෙළෙඳ සංගවලට තීන්දු තීරණ ගන්න බෑ, කෑගල්ල නගරය වහන්න ඕනෑ නම් මට ආණ්ඩුකාර ටිකිරි කොස්බෑකඩුව මහතා හෝ පළාත් සභාව කියන්න ඕනෑ. එතකොට නගර සභාවට සිදුවන පාඩුව.

ආණ්ඩුකාරතුමා හෝ පළාත් සභාව පියවයි.කෑගල්ල නගරයේ ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතන මගෙන් ඇහුවා වෙළෙඳ ආයතන වහනවාද කියලා. මම කිව්වා කාටවත් ඕනෑවිදිහට කෑගල්ල නගරයේ වෙළෙඳ සැල් මම ඉන්නකම් වහන්න දෙන්නේ නෑ කියලා. එක එක දේශපාලන මතිමතාන්තර තියාගෙන මම කෑගල්ල නගරයේ වෙළෙඳසැල් අද දින වහන්න දෙන්නේ නෑ" යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ඊයේ (17)දා සවස කෑගල්ල නගර සභාවේ වාහනයකින් කෑගල්ල නගරයේ ප්‍රචාරය කරමින් කියා සිටියේ, විවිධ පුද්ගලයන් කෑගල්ල නගරය වසා දමන බවට කට කතා ප්‍රචාරය කිරීම අසත්‍යයක් බවත් අද දින සුපුරුදු පරිදි කෑගල්ල නගරයේ වෙළෙඳ සැල් විවෘත පවතින බවත් ප්‍රචාරය කෙරීණ.

(කෑගල්ල - චමින්ද ජයලත්)