bulathsinhala-incident

බුලත්සිංහල ඈගල්කය රාජාලිමානාන ප්‍රදේශයේ නිවසක ඉදිරිපස වැරැන්ඩාව සැකසීම සඳහා යොදා තිබූ කොන්ක්‍රීට් කණුවක් ඇග මතට පෙරැළීමෙන් එයට යටවී දස හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.  බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හෙට්ටිආරච්චිගේ කවිඳු දිල්හාර නමැති මෙම දරුවා දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන  අතර, ඔහු ඉකුත් 21 වැනිදා සවස තම නිවෙසේ ඉදිරිපස වැරැන්ඩාව ඉදිකිරීමට යොදා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් අතර තම මවගේ සාරියක් ගැට ගසා ඔංචිලි පදිමින් සිටියදී හදිසියේ එක් කොන්ක්‍රීට් කණුවක් ඇඟ මතට පෙරැළී මෙම මරණය සිදුව ඇතැයි පොලිසිය පවසයි.




කොන්ක්‍රීට් කණුවට යටවී බරපතළ තුවාල ලබා මරණයට පත්ව සිටි දරුවා බුලත්සිංහල රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී බුලත්සිංහල හදිසි මරණ පරීක චිරාත් භාරත  මහතා මූලික මරණ පරීක්ෂණය සිදු කළේය. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර හොරණ මූලික රෝහල වෙත යොමු කර තිබේ.  මියගිය සිසුවාගේ පියා බේකරි නිෂ්පාදන ආයතනයක රියැදුරකු වශයෙන් සේවය කරන අතර, මව දරුවන් සමග නිවෙසේ රැඳී සිටින බව පොලිසිය කීය. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


-ලක්මි කුඩලිගම---