මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
දිවුලපිටිය
දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකුට හා රාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ඇස්.ඒ.යු.ටී. කුලතිලක මහතා ඊයේ (25) උදැසන පැවසීය. දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.පී.ඒ. රන්දෙණිය, දිවුලපිටිය නගර කලාපය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ඒ.ඇම්.ඇල්. අත්තනායක, බඩල්ගම කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක දිල්හාර කල්ප හා රාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර යන මහත්වරුන් හට එසේ අලුතින් වෛරසය ආසාදනය වී ඇති බවද උප සභාපතිවරයා කීය.
මෙයට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දාහතර දෙනකුට වයිරසය ආසාදනය වී තිබූ බවද උප සභාපතිවරයා කියා සිටියේය. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ සේවයේ යෙදී සිටිනුයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එකොළොස් දෙනකු පමණක් බවත් එයින් තිදෙනකු ආසාදිතයන් වීම හා දාගොන්න මහජන සෞඛ්‍ය පරික්ෂක දිසානායක මහතාගේ පියාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඒ මහතාද ස්වයං නිරෝධායනයට යොමු කොට සිටින බවද උප සභාපතිවරයා කීය. මේ අනුව දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ මේ වන විට සේවයේ යෙදී සිටිනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හත් දෙනකු පමණක් බවද උප සභාපතිවරයා කියා සිටියේය.
මේ නිසාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හත් දෙනකුට දිවුලපිටිය කොට්ඨාසයේ රාජකාරි කටයුතු ආවරණය කළ නොහැකි බවත් සෞඛ්‍ය අංශ බලධාරීන් වහාම මැදිහත් වී කටයුතු නොකළහොත් ඉදිරියේ දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
ගම්පහ
ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් 55 දෙනකු ඊයේ (25) වන විට කොවිඩ්- 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් 81 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ගාමිණි රණතුංග මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ට අදාළ ආසාදිත සහ නිරෝධායනයට ලක් කර ඇති ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙසේය. වත්තල ආසාදිත 06 යි නිරෝධායන 05 යි, අත්තනගල්ල ආසාදිත 05 යි නිරෝධායන 07 යි, කැළණිය ආසාදිත 07 යි නිරෝධායන 04යි, මහර ආසාදිත 07යි නිරෝධායන 04යි, ජාඇල ආසාදිත 03 යි නිරෝධායන 09 යි, මීරිගම ආසාදිත 03යි නිරෝධායන 06යි, බියගම ආසාදිත 04යි නිරෝධායන 07යි, මිනුවන්ගොඩ ආසාදිත 05යි නිරෝධායන 08යි, දිවුලපිටිය ආසාදිත 03යි නිරෝධායන 06යි, මීගමුව ආසාදිත 04යි නිරෝධායන 06යි, දොම්පේ ආසාදිත 01යි නිරෝධායන 07යි, කටාන ආසාදිත 03යි නිරෝධායන 07යි, ගම්පහ ආසාදිත 04යි නිරෝධායන 04යි ලෙස වාර්තා වූ බවත් ග්‍රාම නිලධාරීන් ආසාදිත සහ නිරෝධායනය වීමෙන් පුරප්පාඩු වූ එම ග්‍රාම නිලධාරි කොට්ඨාශවලට වෙනත් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් තාවකාලිකව අනුයුක්ත කිරීමට එම කොට්ඨාසවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය.
දකුණු පළාත
දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් පෙරේදා (24) අලුතෙන් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් 1448 දෙනාත් සමග දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 47219 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්දන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසීය. ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයන් 506ක්, මාතර දිසාවෙන් ආසාදිතයන් 503ක්, හම්බන්තොට දිසාවෙන් ආසාදිතයන් 438ක් සහ ඇල්පිටිය රෝහලෙන් ආසාදිතයන් 1ක් වශයෙන් මෙම ආසාදිතයන් 1448 හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයන් සමග ගාල්ල දිසාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24225 දක්වාද, මාතර දිසාවෙ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15153 දක්වාද, හම්බන්තොට දිසාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7841 දක්වාද ඉහළ ගොස් ඇතැයි චාමර මහගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තල්දෙණිය
විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන තෙල්දෙණිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළසිරුරු තැන්පත් කිරීමට ඇත්තේ ශීතකරණ පෙට්ටි දෙකක් පමණක් වන අතර කොවිඩ් මරණ වැඩිවන විට එම මළ සිරුරු තැත් කිරීමට ශීතකරණ පහසුකම් ප්‍රමාණවත් නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. සතියකට කොවිඩ් ආසාදිත මරණ පහක් හයක් සිදුවන අවස්ථාවලදී එලෙස මියගිය අයගේ මළසිරුරු බොහෝ විට තැන්පත් කර තැබීමට ශීතකරණ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා එම මෘත දේහ ට්‍රොලියක තැබීමට සිදුව තිබෙන බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. කොවිඩ් රෝගීන් මිය ගිය පසු ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ඥාතීන් පැමිණීමට දින ගණනාවක් ප්‍රමාද වන විට මෙම මළ සිරුරු නරක්වන තත්ත්වයක් උද්ගතවන බව මේ සම්බන්ධව කළ විමසීමකදී තෙල්දෙණිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩබ්.ඒ. නෝමන් කොස්තා මහතා පැවසීය.
නරක් වූ මළසිරුරු මෘත ශරීරාගාරයේ තිබීම නිසා සේවකයන් මෙන්ම තමන් ඇතුළු මරණ පරීක්ෂණ කටයුතුවලට සහභාගි වන සෑම දෙනකුම දැඩි අපහසුතාවට පත්වන බවද මෙම රෝහලට මළසිරුරු තබාගත හැකි අමතර ශීතකරණ පෙට්ටි 06 ක් වත් ලබා දෙන්නැයි රෝහල් කමිටුවත් ප්‍රදේශවාසී ජනතාවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටිති.කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වීමත් සමග මේ වන විට කොවිඩ් මරණ 105 ක් පමණ තෙල්දෙණිය රෝහලේ සිදුවී තිබෙන බවද හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා මහතා පැවසීය.
මිනුවන්ගොඩ
මිනුවන්ගොඩ පොලිස් වසමේ ප්‍රදේශ හතරක සිව් දෙනකු ඉකුත් 23 වැනිදා රාත්‍රියේ නිවෙස් තුළම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය පෙරේදා (24) පැවසීය. පන්සිල්ගොඩ, කටුවැල්ලේගම සහ ආරංගාව යන ප්‍රදේශවල පිරිමි තිදෙනකු ද, ඕපාත ප්‍රදේශයේ දී කාන්තාවක ද මෙසේ නිවෙස් තුළම මිය ගොස් තිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම මළ සිරුරු 4 වතුපිටිවල රෝහල වෙත රැගෙන ගිය බවත් මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියකු වැඩිදුරටත් පැවසීය. එසේ නිවෙස් තුළම මියගොස් සිටියදී හමු වූ තිදෙනකුගේ වයස 74 ට වැඩි බවත්, එක් පිරිමි පුද්ගලයකුගේ වයස 43 ක් බවත් පොලිස් නිලධාරියකු කීය.
මරණකරුවන්ගේ ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බව පැවසු මිනුවන්ගොඩ පොලිසිය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අවශ්‍ය වුවහොත් වැඩිදුර විමර්ශන සිදු කරන බවද කීය. වතුපිටිවල රෝහලේ දී සිදු කරන හදිසි මරණ පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රොහාන් මහේෂ් මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ.
කරාපිටිය
හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ, කාර්ය මණ්ඩලයේ 112 දෙනකුට මෙම මාසය තුළදී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. අගෝස්තු මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළදී රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. වයිරසය ආසාදනය වූ රෝහල් කාර්ය මණ්ඩලයේ අය අතර වෛද්යාවරු 09 දෙනකු හා හෙද හෙදියන් 45 දෙනකුද සිටින බව රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ අතර ඉකුත් පැය 24 ක කාලය තුළ කරාපිටිය රෝහලින් නව කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු හඳුනාගෙන ඇති අතර, කොවිඩ් මරණ 10ක් වාර්තා වී ඇති බවද වැඩබලන රෝහල් අධ්යක්ෂවරයා පවසයි. මින් 06 දෙනකු නිවෙස්වලදී මියගොස් ඇති අතර, ආසාදිත රෝගීන් 04ක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රෝහල මගින් පාලනය වන අක්මීමන මැලිබන් රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීහු 190 දෙනෙක් ප්‍රතිකාර ලබති. මින් රෝගීන් 60 දෙනකු වෙනත් වෛද්‍ය ශල්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන අතර 18 දෙනකු රෝහලින් නිදහස් කර ඇත. කොවිඩ් ආසාදිත රෝගීන් 53 දෙනකු ඔක්සිජන් ආධාරක යටතේ ප්‍රතිකාර ලබන බවද වැඩබලන රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයන් 680 ක් හා මරණ 21 පෙරේදා (24) වාර්තාවී තිබුණි. පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයන් වාරතා වූයේ මෙසේය.
හොරණ - 142, මොරගහහේන - 25, අඟුරුවාතොට - 06 අගලවත්ත - 21, බුලත්සිංහල - 03, ඉත්තෑපාන - 11, බදුරලිය - 32, මීගහතැන්න - 07, පානදුර දකුණ - 138, බණ්ඩාරගම - 86, වාද්දුව - 02, පිංවත්ත - 15, පානදුර උතුර - 13, හිරන - 36, මොරොන්තුඩුව - 25, කළුතර උතුර - 7, කළුතර දකුණ - 12, පයාගල - 14, බේරුවල - 27, අලුත්ගම - 14, දොඩම්ගොඩ - 18, තෙබුවන - 22, වරකගොඩ - 04 වශයෙනි. මෙම මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ 21ක් පෙරේදා (24) වනවිට වාර්තා වී තිබුණි.
පොලිස් වසම් මට්ටමින් එම මරණ වාර්තා වුයේ මෙසේය.
හොරණ - 02, මොරගහහේන - 02, අඟුරුවාතොට - 01, පානදුර දකුණ - 03, වාද්දුව - 02, පිංවත්ත - 01, පානදුර උතුර - 02, මොරොන්තුඩුව - 01, කළුතර උතුර - 02, කළුතර දකුණ - 01, පයාගල - 02, අළුත්ගම - 01, තෙබුවන - 01 වශයෙනි.
වත්තල
වත්තල ප්‍රාදේශීය සභාවට අයත් හැඳල උප කාර්යාලයේ සුළු සේවකයන් විසිතුන් දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හැඳල උප කාර්යාලයේ සෞඛ්‍ය පරිපාලක ක්‍රිශාන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (25) පැවසීය. මේ හේතුව නිසා කැළිකසළ බැහැර කිරීමේ කටයුතු ඉතා සීමිත සේවකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සිදුව ඇතැයිද හෙතෙම කීය. කොවිඩ් 19 වැළඳුන පිරිස්වලට ප්‍රාදේශීය සභාවේ සභාපති ත්යගිරත්න අල්විස් මහතාගේ මෙහෙයවීම යටතේ රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර පාසල් ලබාදීම කඩිනමින් සිදු කළ බවත් ඔවුනට අවශ්‍ය අනෙකුත් සෞඛ්‍ය උපකරණ හා බේත් වර්ගද ලබාදීමට කටයුතු කළ බවද පැවසු සෞඛ්‍ය පරිපාලකවරයා නිරතුරුව ඔවුන්ගේ අවශ්‍යතාවන් සොයා බලා ඒවා සපුරා දීමටද කටයුතු කරන බව පැවසීය.
බුත්තල
බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය 13 වැනි පුද්ගලයා ඊයේ (25) වාර්තා විය. ඔහු ඔක්කම්පිටිය පාර 1 කණුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි. කලක සිට වකුගඩු රෝගී තත්වයෙන් පෙලුණු ඔහු මොනරාගල මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ. මේ වන විට බුත්තල ආශ්‍රිතව කොවිඩ් ආසාදනය වූ සමස්ත පුද්ගලයන් ගණන 1350 ඉක්මවා ඇති අතර ඉකුත් 23 වැනිදා ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී නව ආසාදිතයන් 15ක් හඳුනාගෙන තිබේ. එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල 100ක් ලබා ගැනීමට අද (26) කටයුතු යොදා ඇතැයි බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අනුරපුර
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට දෙනිකව වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 400 ඉක්මවා ඇතැයි අනුරාධපුර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවණ මධ්‍යස්ථානය ඇතුළු වාට්ටු සියල්ල සහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ල රෝගීන්ගෙන් පිරී පවතින නිසා, දැන් හමුවන රෝගීන් නිවෙස් වල තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුවී ඇතැයි කී වෛද්‍ය රත්නායක මහතා, මේ තත්වය අවදානම් බව පෙන්වා දුන්නේය. නිවෙස්වල ප්‍රතිකාර ලබන අතරතුර රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් රෝගියාගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ ඇති බව පැවසූ වෛද්‍යවරයා, රෝගියාට සාත්තු කරන පවුලේ අයටද රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව කීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට දිනපතා කොරෝනා රෝගීන් හය, හත් දෙනකු මිය යන තත්වයක් පවතින බවද සඳහන්කළ වෛද්‍ය රත්නායක මහතා, ඊට වඩා වැඩිවෙන දවස්ද තිබෙන බව පැවසීය. දිස්ත්‍රික්කයේ රෝහල් කාර්යමණ්ඩලවල සියයකට ආසන්න පිරිසක් මේ වනවිට කොරෝනා රෝගීන් බවට පත්ව ඇති බවත්, මේ අන්දමට රෝහල් කාර්ය මණ්ඩල දිනෙන් දින රෝගීන් වීම ඉදිරියේදී රෝගී ප්‍රතිකාර කටයුතු අඩාල වීමට හේතුවනු ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වන විට රට තුළ පනවා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැතැයි කී ඒ මහතා, සාමාන්‍ය දිනවලදී මෙන්ම ජනතාව ගමන් බිමන් යන එන බවත්, ව්‍යාපාරික ස්ථාන විවෘත කර ගනු දෙනු සිදුකරන බවත්, ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදී තිබෙන මාගෝපදේශ අනුව, පොලිසියට ජනතාවගේ මේ හැසිරීම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අසීරු වී තිබෙන බව උසස් පොලිස් නිලධාරින් පවසන බවත් කීය.
මල්වාන
මල්වානේ කලුකොඳයාව ප්‍රදේශයේ කොවිඩ් සහන රාජකාරි කටයුතු සඳහා සහාය වෙමින් සිටි එහි සංවර්ධන නිලධාරිනියගේ සැමියා පෙරේදා පස්වරුවේ දොම්පේ ඉන්ධන පිරවුම්හල අසලදී හදිසියේම ඇද වැටී මියගොස් ඇත. මොහු එම රාජකාරි කටයුතුවලට සහාය වෙමින් සිටියදී සිය ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙසේ ඇදවැටී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ දෙකටන, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන ඩී. ජගත් කුමාර චන්ද්‍රසිරි නමැති 49 හැවිරිදි එක්දරු පියෙකි.
මොහු කලුකොඳයාව - බටහිර සංවර්ධන නිලධාරිනී තමරා දිල්මිණි මහත්මියගේ සැමියා වන අතර ඇය සමග රාජකාරි කටයුතුවලට සහාය වෙමින්ද ඉද තිබේ. මේ පිළිබඳව මරණ පරීක්ෂණය දොම්පේ හදිසි මරණ පරීක්ෂක ජගත් ශ්‍රී ලාල් මහතා විසින් දොපේ රජයේ රෝහලේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණෙය වතුපිටිවල රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතා විසින් පවත්වා මෙය හෘදයාබාධයකින් සිදුවූ මරණයක් බවට වාර්තා කරනු ලැබීය. දොම්පේ පොලිසියේ පො.කො. රංජිත් මහතා සාක්කි මෙහෙයවීය. මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තතාව අනුව හදිසි මරණ පරීක්ෂකවරයා එම මරණය ස්වභාවික මරණයක් බවට නිගමනය කළේය.
පොළොන්නරුව
ලක්ෂ පහකට ආසන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් සියයට 7ක් පමණ ඉතාම කුඩා ප්‍රතිශතයකට පමණක් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇත. මේ වන විට ආසාදිතයන් විශාල වශයෙන් හමුවීමත් සමග දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීම ගැටලුසහගත තත්ත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විටත් කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිස් හා වයස අවුරුදු 30 ඉක්මවූ පිරිස් ලෙස ගණනය කළහොත් ලක්ෂයකටත් අඩු සංඛ්‍යාවකි. තවමත් අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබානොගෙන සිටින පිරිස් ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. මේ වන විට දිස්ත්‍රික්කයේ රෝගීන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන්නේ නැති බවත් දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ප්‍රමාණය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
නිවෙස්වල රැකබලා ගන්නා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී. එය 2000 සීමාව ද ඉක්මවා ඇත.
කෙසේ වෙතත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඔක්සිජන් ලබාදෙන පහසුකම් සහිත ඇඳන් නොමැතිකම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත.
කන්තලේ
කන්තලේ කොවිඩ් රෝහලේ ගැබිනි මවුවරුන්ගේ වාට්ටුව (වාට්ටු අංක 3) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත මවුවරුන් දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කිරීමට සිදුව ඇති නමුත් එහි පවතින ඇඳන් ප්‍රමාණවත් නොවීමෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවන බව රෝහල් අධ්යක්ෂ මැලින්ටන් කොස්තා පවසයි. ඇඳන් දහයක් පැවැති එම වාට්ටුවේ මේ වන විට ඇඳන් දොළහක් යොදා ඇත. ත්‍රිකුණාමලය, කින්නියා, මූතූර් ආදි දිස්ත්‍රික්කය ඇතුළත නගරවලින් ද කොවිඩ් ආසාදිත මවුවරුන් එය වෙත ගෙන එනු ලබයි. ඒ හේතුව මත කන්තලේ තදාසන්න ප්‍රදේශවලින් පැමිණෙන මවුවරුන් ත්‍රිකුණාමලය, මඩකලපුව, කාත්තන්කුඩි ආදි රෝහල්වලට යොමුකිරීමේදී ඔවුන්ගේ ඥාතීන්ගෙන් විරෝධතා මතුවෙයි. මෙතෙක් කල් ප්‍රතිකාර ලැබූ රෝහල අහිමි වීම නිසා සහ දුර රෝහල්වලට යැවීමෙන් ඇතිවන අපහසුතා නිසාය.
දික්ඔය
දික්ඔය මූලික රෝහලෙන් සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට හැටන් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් ඊයේ (25 වැනිදා) රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරුණේය.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එම රොහලෙන් ලබා ගත් එම පිරිසට දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස රෝහලෙන් කළ දැනුම් දීම නිසාවෙන් පවත්නා නිරෝධායන ඇඳිරිනීතිය හමුවේ ත්‍රිරෝද රථ කුලී පදනම මත ලබාගෙන එම පිරිස උදෑසනම දික්ඔය මූලික රෝහල වෙත පැමිණ ඇත.
දික්ඔය මූලික රෝහල වෙත එන්නත් ලබාගැනීමට පැමිණ පිරිසට රෝහල සංචිතයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට එන්නත් නොමැති නිසා වෙනත් දිනයක පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරියෙන් දැනුම් දීම නිසා මෙම කලබලකාරී තත්ත්වය ඇතිවිය.
සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණි පිරිස රෝහල් පරිපාලනය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහලේ පාලන අධිකාරියේ නිලධාරියකු කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල සංචිතයේ ඉතිරිව තිබෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා කිහිපයක් එවන බවට පොරොන්දු වූ බවත්ය. එම ඒන්නත ලබාගැනීමට ඊයේ සවස දක්වා ඔවුහු රැඳී සිටියහ.
දඹගල්ල
දඹගල්ල ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනකුට සහ දඹගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට කොරෝනා ආසාදනය වී ඇත.
මෙම වෛද්‍යවරුන් තිදෙනාගෙන් දෙදෙනකු නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් වෛද්‍යවරයා බුත්තල ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
බණ්ඩාරවෙල
බණ්ඩාරවෙල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ඊයේ (24 දින) ආශ්‍රිතයන් එකසිය හතළිස් එක්දෙනකු සම්බන්ධයෙන් කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී 54 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බවත් ඉන් 26 දෙනකුම අවුරුදු 16ට අඩු ළමුන් වීම විශේෂත්වයක් බවත් බණ්ඩාරවෙල නාගරික පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක පැවැසීය.
මේ දිනවල වාර්තා වන ආසාදිතයන් අතර ළමුන් ආසාදිතයන් ලෙස වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුබව ද ඔහු පැවැසීය.
එක් පවුලක සාමාජිකයකු ආසාදිතයන් වූ විට එම පවුලේ සියලුම සාමාජිකයන් ආසාදිතයන් වීම මේ දිනවල කැපී පෙනෙන බව ද ඔහු කීය.
මතුගම
මතුගම පොලිසියේ නිලධාරින් විසින් ඉකුත් 22 වැනිදා කසිප්පු සමග අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් පොලිසියට ගෙන යමින් සිටියදී මියගිය සැකකරුගේ මරණය සිදුව ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් බව කළුතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න පෙරේදා (24 වැනිදා) සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ මතුගම, යටදොළ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි බෙල්ලනගම විතානගේ සාලිය නම් වූ 37 හැවිරිදි අයෙකි. සැකකරු පොලිසියට රැගෙන යමින් සිටියදී අසනීප වී ඇති බැවින් ඔහු වෑත්තෑව රෝහලට රැගෙන ගොස් ඇතත්, ඒ වනවිටත් මියගොස් තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඊයේ (25 වැනිදා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සැකකරුගේ දේහය මිහිදන් කරන්නේද, ආදාහනය කරන්නේද යන්න පිළිබඳ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතය.
පුත්තලම
තම නිවසේදී අබිරහස් ලෙස මියගොස් ඇති අයකු සම්බන්ධයෙන් විමර්ශනයක් අරම්භ කර ඇතැයි පුත්තලම පොලිසිය කීවේය.
එලෙස මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය, කන්දෙයාය පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ ගුණවර්ධන නමැති 79 හැවිරිදි අයෙකි. ඔහු දරුවන් 06 දෙනකුගේ පියෙකි. මරණකරුගේ බිරිඳ මීට වසර කිහිපයකට පෙර මිය ගොස් ඇත. දරුවන් සියලුදෙනා විවාහ වී වෙනම පදිංචිව සිටින බැවින් මියගිය පුද්ගලයා තනිවම සිය නිවසේ වාසය කර තිබේ.
පෙරේදා (24 වැනිදා) දහවලදී එක් දරුවකු පියා බැලීමට නිවසට පැමිණ ඇත. එවිට ඔහු දැක ඇත්තේ පියා නිවස තුළ බිම වැටී සිටින ආකාරයයි. සිය පියා මියගොස් ඇති බව දැනගත් ඔහු පොලිසියට ඒ බව දැනුම් දී ඇත. පුත්තලම පොලිසියේ නිලධාරීන් එදින සවස පැමිණ මූලික විමර්ශන සිදු කර තිබේ.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට ගෙන ගොස් ඇත. පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මැදගම
මැදගම, 08 කණුව ප්‍රදේශයේ නිවසකට පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ ඇතුළු වූ අයකු අල්මාරියේ තිබූ මුදල් සහ රන් ආභරණ සොරාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් හතළිස් දහසක් පමණ වන බව මැදගම පොලිසිය පැවසීය.
එම පුද්ගලයා අදාළ නිවසේ පිටුපස දොර විවෘත කර ඇතුළු වී අල්මාරියේ තිබූ රුපියල් විසිපන්දහසක් පමණ වටිනා රන් මාලයක් සහ මේසය මත වූ මුදල් පසුම්බියේ තිබී රුපියල් පහළොස් දහසක මුදලක් රැගෙන පිටුපස දොරින්ම පිටව ගොස් ඇත. එම අවස්ථාවේ නිවැසියන් නින්දේ සිටි බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.
0 Comments