මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
නිට්ටඹුව
නිට්ටඹුව හා වේයන්ගොඩ පොලිස් ස්ථාන දෙකෙහි පොලිස් නිලධාරීන් පනස් නව දෙනකුට පසු ගිය දින පහළොවක් ඇතුළත කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් ඊයේ (29) පැවසීය. නිට්ටඹුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් තිදෙනකුට පසුගිය 14 වැනිදා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව පෙරේදා (28) වන විට වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තිස් පහක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම ප්‍රකාශකයා කීය. වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ද පසුගිය 14 වැනිදා කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව පෙරේදා (28) වන විට එම පොලිස් ස්ථානයෙන්ද වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් විසි හතරක් වර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා සඳහන් කළේය. මේ අනුව පොලිස් ස්ථාන දෙකෙහි වයිරස ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව පනස් නමයක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම ප්‍රකාශකයා කීය.
දකුණු පළාත
දකුණු පළාතේ පවුල් 9994 ක සමාජිකයන් 30943 ක් ඊයේ (29) වනවිට නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 6187 ක සමාජිකයන් 19541ක් ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 2433 ක සාමාජිකයන් 7754 ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1374 ක සමාජිකයන් 3648 ක්ද මෙසේ නිරෝධායනයට යොමු කර ඇත.
දකුණු පළාතෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයන් 958 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගීන් 416 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන් 121 දෙනකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගීන් 383 දෙනකු වාර්තා වී ඇත. මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 52,493 දක්වා වැඩිවී ඇත. දකුණු පළාතේ පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 26ක කෝවිඩ් ආසාදිත රෝගීන් 2373 දෙනකු ප්‍රතිකාර ලබන බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මහර
කොරෝනා ආසාදිතයන් වැඩිවීම සැලකිල්ලට ගනිමින් මහර කොවිඩ් කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව මහර ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙහි 'කොවිඩ් මෙහෙයුම් මැදිරියක්’ ස්ථාපිත කළ බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි. මේ යටතේ මහර කොට්ඨාසයේ කොවිඩ් අසාධ්‍ය ආසාදිතයන් නිවාසවල සිට රෝහල් වෙත රැගෙන යාමට ප්‍රාදේශීය සභාව මගින් ගිලන් රථ හතරක් යෙදවීමට පියවර ගන්නා බවද සහන් ප්‍රදීප් මහතා සඳහන් කර සිටියේ, මෙහෙයුම් මැදිරිය ආරම්භ කිරීමේ අවස්ථාවේදීය. මෙහිදී මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී මහත්මිය ප්‍රකාශ කර සිටියේ දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරිය මගින් මහර කොට්ඨාසයේ නිවාසවල රැඳී සිටින නිදන්ගත රෝග සහිත කොරෝනා රෝගීන් සහ අසාධ්‍ය තත්වයේ රෝගීන් ළඟම රෝහලකට ඇතුළත් කිරීමට නොමිලේ ගිලන් රථ සපයන බවත් අංක 011 3458441 දරණ දුරකතනය අමතා අවශ්‍ය පහසුකම සලසාගත හැකි බව සහ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි බවය.
නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් දිනකට දෙසිය පනහේ සීමාව ඉක්මවමින් හමුවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. කොවිඩ් ආසාදිතයන් 276 දෙනකු පෙරේදා (28) දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ඉකුත් 27 දින නව ආසාදිතයන් 249 දෙනකු වාර්තා වී ඇති බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.
පෙරේදා (28) හමුවී ඇති නව ආසාදිතයන්ගෙන් 128 දෙනකුම නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති බවත් අනෙකුත් ආසාදිතයන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනුව ලිඳුල 58ක්, අඹගමුව 28ක්, මස්කෙළිය 14ක්, මතුරට 12ක්, බගවන්තලාව 12ක්, කොටගල 10ක්, වලපන්නේ අටක්, රාගල තුනක්, කොත්මලේ දෙකක් සහ හඟුරන්කෙත එකක් වශයෙන් ඇති බවත් එම නිලධාරීහු වැඩිදුරටත් පවසති. මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොඩිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11766 ක් දක්වා හා සමස්ත මරණ සංඛ්‍යාව 243ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නුවරඑළිය මහ නගර සභාවේ අධිෂ්ණය යටතේ පෞද්ගලික ආයතනයක් විසින් නුවරඑලිය ග්‍රෙගරි වැවේ බෝට්ටුවක පවත්වාගෙන යන ලැගුම්හල් සහිත සංචරක අවන්හලෙන් ඉකුත් 27 වැනිදා දිවා ආහාරය ලබා ගැනීමට පැමිණි සිව් දෙනකු සහ එම බොට්ටුවේ සේවය කරන සේවකයන් දෙදෙනකු දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.එස්.ඩී. ඇල්පිටිය මහතා පැවසීය. ආයෝජන මණ්ඩලයේ අවසර පත්‍රයක් මත 27 වැනිදා නුවරඑළියට පැමිණි තරුණයන් දෙදෙනකු සහ තරුණියන් දෙදෙනකු එම බොට්ටුව වෙත ගොස් දිවා ආහාරය ලබා ගැනීමට කටයුතු කර ඇත.
පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ සංචාරක හෝටල්වල සහ නිකේතනවල ආහාරපාන සහ නවාතැන් ලබාදීම තහනම් කර තිබියදී ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටුවට පිරිසක් පැමිණ ඇති බවට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසියේ නිලධාරින් එම බෝට්ටුවට ගොස් පරික්ෂා කර බැලු බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩී.එම්.එස්.ඩී. දැල්පිටිය මහතා කියා සිටියේ.
ගොකරැල්ල, කැකිරාව, හබරණ යන ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනා සහ තරුණියන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස වලම එම බල ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවල අධීක්ෂණය යටතේ දින 14 ක් නිරෝධායනයට යොමු කිරීමටත්, බෝට්ටුවට එම පිරිස ඇතුළත් කර ගැනීමට කටයුතු කළ බොට්ටුවේ සේවකයන් දෙදෙනා බෝට්ටුව තුළදීත් දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගත් බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.එස්.ඩී. දැල්පිටිය මහතා කියා සිටියේ.
බුලත්සිංහල
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ඉකුත් 26 වැනිදා සිට 27 වැනිදා දක්වා දින දෙකක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් 195 දෙනකු අලුතින් වාර්තාවීමත් සමග බුලත්සිංහල සමස්ත කොරෝනා රෝගී සංඛ්‍යාව 3799 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව නිරෝධායනය කළ පවුල් ගණන 4352 දක්වා ඉහළ යන අතර නිරෝධායනය අවසන් කළ පවුල් ගණන 3924ක් බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල දත්තවලට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්තා කරයි.
දිද්දෙණිපොත
මුලටියන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉකුත් 27 හා 28 යන දිනවලදී දිද්දෙණිපොත වතුයාය කේන්ද්‍ර කර ගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණේ 125කින් කොරෝනා ආසාදනය වූ 48 දෙනකු වාර්ත වී ඇතැයි එම කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. දිද්දෙණිපොත වතුයායේ සහකාර වතු අධිකාරිවරයකු ඇතුළු 15 දෙනකුට හා පොල්හේන වතු නිවාසවල 33 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැවින් වතු නිවාසවල පදිංචි පවුල් 208 ක් නිරෝධායනයට යොමු කළ බවත් එම නිලධාරියා පැවසීය.
කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් ඉකුත් 27 හා 28 යන දින දෙක තුළදී නව කොරෝනා ආසාදිතයන් 899 ක් වාර්තාවී තිබුණි. ඉකුත් 27 වැනි දින පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයන් වාර්තා වූයේ මෙසේය. හොරණ - 41, මොරගහහේන - 17, අඟුරුවාතොට - 03, කළුතර දකුණ - 14, පයාගල - 33, බේරුවල - 09, අලුත්ගම - 02, දොඩම්ගොඩ - 26, තෙබුවන - 02, වරකගොඩ - 38, පානදුර දකුණ - 34, බණ්ඩාරගම - 31, වාද්දුව - 05, පිංවත්ත - 10, පානදුර උතුර - 05, හිරන - 27, අගලවත්ත - 21, බුලත්සිංහල - 28, මීගහතැන්න - 19, මතුගම - 28, බදුරලිය - 62 වශයෙනි.
ඉකුත් 28 වැනි දින පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයන් වාර්තා වූයේ මෙසේය.
ඒ හොරණ - 62, මොරගහහේන - 23, අඟුරුවාතොට - 01, ඉංගිරිය - 07, අගලවත්ත - 31, බුලත්සිංහල - 31, මීගහතැන්න - 24, මතුගම - 18, වැලිපැන්න - 05, ඉත්තපාන - 03, තිනියාවල - 04, පානදුර දකුණ - 31, බණ්ඩාරගම - 31, පිංවත්ත - 19, හිරන - 31, මොරොන්තුඩුව - 08, කළුතර දකුණ - 15, පයාගල - 32, බේරුවල - 05, අළුත්ගම - 02, දොඩන්ගොඩ - 23 හා වරකගොඩ - 38 ක් වශයෙනි.
මිහින්තලේ
මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් නෑටියගම ගම්මානයේ පදිංචි හැට (60) හැවිරිදි පිරිමි පුද්ගලයකු අනුරාධපුර ශික්ෂණෙ මහ රෝහලෙහි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 28 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියකු පැවසීය. මේ අතර මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ගම්මාන රැසකින් කොරෝනා ආසාදිතයන් සියයක් (100) පමණ ඉකුත් දිනවලදී හමු වූ බවද හෙතෙම පැවසීය. විශේෂයෙන් ගම්මාන හා නගරවල සංචාරය කරමින් නයි නැටවීම, ශාස්ත්‍ර කීම ආදී කටයුතුවල නිරතව සිටින මිහින්තලේ සියඹලාගස්වැව තෙළිඟු ජාතිකයන් ජීවත්වන ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් විසි දෙකක් (22) හමුවීම නිසා එම ගම්මානය හුදකලා කිරීමටද දැනට පියවර ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණය කළේය. රජය විසින් සංචරණ සීමා සහ ඇඳිරි නීතිය පනවා ඇතත් ඊට අනුගතව බහුතරයක් ජනතාව ක්‍රියා කරන බවක් දක්නට නැතැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
හක්මන
හක්මන ප්‍රදේශයේදී ඉකුත් විසි හත හා විසි අට දෙදින තුළ සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවන් එකසිය විසිතුනක් අතුරින් පුද්ගලයන් තිස් එක් කෙනකුට කොවිඩ් 19 ආසාදිතව ඇති බව හඳුනාගෙන ඇතැයි හක්මන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. හක්මන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් මෙලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන්වලදී දෙනගම බටහිර සහ ඇල්ලවෙල බටහිර, මී ඇල්ල හා දෙනගම නැගෙනහිර, වේපතඉර දකුණ, මුරුතමුරය, කෝංගල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිස් එක් දෙනකුට කොවිඩ් 19 වැළඳී ඇති බව හඳුනාගෙන ඇත. ආසාදිතයන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කළ බවත් ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් වන පවුල් හතළිස් නවයක එකසිය එක් දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.
රත්නපුර
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැටඅට දෙනකුට (68) මේ වන විට කොවිඩ් ආසාදිතව එම රෝහලේ සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගෝ පැවසීය.
එසේම රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ මේ වනවිට රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන වාට්ටු 06 ක්ද, ළමා වාට්ටු 01 ක්ද, මාතෘ වාට්ටු 01 ක්ද කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ ප්‍රතිකාර සඳහා වෙන්කර ප්‍රතිකාර කටයුතු කරගෙන යන බවත් තවත් වාට්ටු කිහිපයක්ද අවශ්‍යතාව පරිදි ප්‍රතිකාර සඳහා වෙන්කිරීමට කටයුතු කරන බවත්ය.
මේ දිනවල රෝහලට පැමිණෙන කොවිඩ් රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමට සිදුව තිබෙනවා යැයිද, ඔහු වැඩිදුරටත් පැවසීය.
-
0 Comments