මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
පාදුක්ක
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පුද්ගලයන් 121 දෙනකුට කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව ලද වාර්තා අනුව 120 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගමගේ 17 වැනිදා පැවසීය.
පාදුක්ක, බෝපේ, ගලගෙදර, මාදුලාව, පිටුම්පේ සහ තුම්මෝදර, යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවලින් මෙම පුද්ගලයන් හඳුනා ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
එම වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් පරිදි රෝගීන් තම නිවෙස්වලම නිරෝධායනය වී සිටීමේ සමාජ වගකීම අනිවාර්යෙන්ම ඉටු කළහොත්, තමනුත් සමාජයත් මෙම වසංගතයෙන් බේරාගත හැකි බවට ජනතාව දැනුවත් කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මහරගම
මහරගම පොලිසියේ ස්වයේ නියුතු පොලිස් පරික්ෂකවරයකු, ඇතුළු තවත් පොලිස් නිලධාරීන් සිවු දෙනකුට පෙරේදා (16)දා කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඒ අනුව මහරගම පොලිසියෙන් මේ වනවිට වාර්ත වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවසේ.මේ හේතුවෙන් නිලධාරින් 18 දෙනකු ගෘහස්ථ නිරෝධායනයට ලක්කර තිබේ. මෙම මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මහතා පාර්ලිමේන්තු වටරවුමේ ඉකුන්දා පැවැති උද්ඝෝෂණයක් අතරතුර දී අනතුරකට ලක් වීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස, වැඩ බැලූ පොලිස් පරික්ෂකවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් දොළොස් දෙනකු ඉකුත් 15 වැනිදා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණි. ඉන්පසුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන සිටි නිලධාරීන් අතරින් පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරයෙකු හා කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ සිදුකළ කොවිච් පරික්ෂණයේදී වයිරසය ආසාදනය වී ඇති බවට 16දා මෙසේ හඳුනාගෙන තිබුණි.
බියගම
බියගම පොලිස් බලප්‍රදේශයේ ඉකුත් අප්‍රේල් මස 20 වැනිදා සිට මේ දක්වා කොරෝනා වයිරසය ආසාදනය වී 21 දෙනකු මියගොස් ඇතැයි බියගම පොලිසිය ඊයේ (17) පැවසීය.ඉන් 19 දෙනකු කොවිඩ් මර්දන කිසිම එන්නතක් ලබාගෙන නොතිබූ බවද පොලිසිය සඳහන් කරයි. මෙම 21 දෙනාගෙන් 17 දෙනකුම වයස අවුරුදු 60ට වැඩි පිරිස වන අතර සෙසු සිවු දෙනා වයස අවුරුදු 30ත් 60ත් අතර වියේ පසුවන්ගෙන් වන බවත් පොලිසිය කියයි. තවද ඉන් 13 දෙනකුම පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 08 දෙනා කාන්තාවන් වන බවද පොලිසිය කීය. මෙහි අධීක්ෂණ කටයුතු බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමග බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්.ඩී. වීරසිංහ, පො.කො. පනාවල (61817) හා ජයවර්ධන (25841) යන නිලධාරිහු මෙහෙයවති.
ගම්පහ
කොවිඩ් දෙවැනි රැලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (17) උදෑසන වනවිට 92,222 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුළ ආසාදිතයන් 1208 දෙනකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සඳහන් කරයි. මෙම මින් 241 දෙනකු වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන බවත් සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයන් හමුවීම ජාඇල - 184 ක්, ගම්පහ - 136 ක්, මිනුවන්ගොඩ - 133 ක්, බියගම - 123 ක්, කැලණිය - 99 ක්, දිවුලපිටිය - 96 ක්, රාගම - 55 ක්, දොම්පෙ - 53 ක්, අත්තනගල්ල - 50 ක්, සීදුව - 11 ක්, මීරිගම - 9 ක්
සහ මීගමුව - 5 දෙනෙකු වශයෙන් සිදුව ඇත. පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව 61 දෙනෙකු හමුව ඇති බවත්, එය ආයෝජන කලාපය කටුනායකින් - 48 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව - 5 දෙනෙකු හමුව ඇත.
දෙහිවල
දෙහිවල ගල්කිස්ස නගරසභා මහජන පුස්තකාලයේ සේවකයන් දෙදෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත බවට තහවුරු වී ඇති බැවින් පාඨකයන් සඳහා පුස්තකාලය දින 14 කට වසා දැමීමට කටයුතු කරනු ලැබ ඇතැයි පුස්තකාල ප්‍රකාශකයෙක් පැවසීය. මේ අනුව එම ආසාදිතයන් දෙදෙනා සමග ආශ්‍රිතයන් ලෙස සිටි කාර්ය මණ්ඩලය 15 ක් නිවාස නිරෝධායනයටද යොමු කරනු ලැබ ඇතැයිද එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවැසීය.
කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ 20ක් පෙරේදා (16)වාර්තා විය.පොලිස් වසම් මට්ටමින් එම මරණ වාර්තා වූයේ මෙසේය. ඒ හොරණ 01, කළුතර උතුර 03, කළුතර දකුණ 02, පයාගල 05, බේරුවල 01, දොඩම්ගොඩ 01, අලුත්ගම 04, පානදුර අකුරණ 01, වාදුව 01 හා මිල්ලනිය 01 වශයෙනි.
කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 621 ක් පෙරේදා (16)වාර්තාවී තිබුණි. පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයින් වාර්තාවී තිබුණේ මෙසේය. ඒ හොරණ 55, මොරගහහේන 84, ඉංගිරිය 10, අඟුරුවාතොට 11, කළුතර උතුර 18, කළුතර දකුණ 41, පයාගල 37, බේරුවල 06, දොඩම්ගොඩ 27, තෙබුවන 15, වරකගොඩ 19, මතුගම 04, බදුරලිය 97, මීගහතැන්න 45, බුලත්සිංහල 11, තිනියාවල 04, ඉත්තෑපාන 14, පානදුර දකුණ 16, බණ්ඩාරගම 80, පානදුර උතුර 05, හිරන 20, වාද්දුව 02 වශයෙනි.
කඹුරුපිටිය
මුඛ පිළිකාවක් වැලඳී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් එකොළොස් දෙනකුගේ මවක් කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී (16) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.
මියගොස් ඇත්තේ 83 හැවිරිදි වියේ පසුවන කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මීට මාස තුනකට පමණ ඉහතදී මෙකී මවගේ මුඛයේ දතක් ගලවා ඇති අතර ඒ සමග උණ වැලඳී ඇත. මෙකී මවට මුඛ පිළිකාවක් වැලඳී ඇති බව දැන ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට ඇතුළත් කොට ඇත. පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 12වැනිදා මෙකී මවට උණ වැලඳී ඇති අතර පසුව කරනු ලැබූ පී.සී.ආර් පරීක්ෂණයේ දී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මියගිය මවගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය යු.ජී.පී. ජයරත්න මහතා විසින් පවත්වනු ලැබීය.
කොළොන්නාව
ඊයේ (17 වැනිදා) වන විට කොළොන්නාව නගර සභාවේ සේවකයන් 22 දෙනකු කොරෝනා ආසාදිතයන්සේ හඳුනාගෙන ඇත.
මෙම අවදානම සළකා නගර සභාව ලබන සඳුදා දක්වා වසා තැබීමට සෞඛ්‍ය අංශ ඊයේ (17 වැනිදා) පියවර ගත්තේය.
මුදල් අයකැමි අංශයේ සේවයේ නියුතු 47 හැවිරිදි අයකු ද කොරෝනා ආසාදිත වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (17 වැනිදා) මරණයට පත් වූ බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.
හැටන්
හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් 11 දෙනෙකු ඇතුළු නගර සභා සීමාවේ 32 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට (16දා) කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වූ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
ඉකුත් (13) දින පෙර ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 52 දෙනෙකුගෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණය අනුව නව ආසාදිතයන් 26 දෙනා හඳුනාගෙන ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ ආසාදිතයන් පාලන අංශයේ සහ සේවක අංශයේ සේවකයන්, හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු , හැටන් නගරයේ සහ දික්ඔය නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛා දෙකක සේවකයන් 09 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවත්, එම බැංකු ශාඛා දෙක තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.
එම ආසාදිතයන්ට අමතරව හැටන් නගරය, සාත්තු නිවාස පාර, දික්ඔය ජනපදය යන ප්‍රදේශවලින් ආසාදිතයන් හමු වී ඇති බවත්, එම ආසාදිතයන් නිවාස තුළම නිරෝධානය කිරීමටත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
කොටගල
කොටගල මේෆිල්ඩ් වතු යායේ වතු කම්කරුවන් 19 දෙනෙක් ඇතුළු කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 24 දෙනෙකු ඊයේ (17දා) හඳුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.සුර්ශන් මහතා පැවසීය.
කොටගල මේෆිල්ඩ් වතු යායේ හමු වූ ආසාදිතයන් වැඩි පිරිසක් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කළ අය බවත්, එම ආසාදිතයන් අතර එකම පවුලේ වැඩි පිරිසක් සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
හැටන් කුඩාගම කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මිය ගිය ආසාදිතයෙකුගේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මහනුවර
කොවිඩ් රෝග අවධානමට මුහුණ දී සිටින මහනුවර ජනතාවට අවශ්‍ය රෝහල් ඉඩ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මේ වන තුරු මහනුවර ජාතික රෝහලේ කිසිදු ගැටලුවක් මතු වී නොමැති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එස්.ඒ.ඒ.එන්. ජයසේකර පවසයි.
කොවිඩ් හේතුවෙන් රෝහල් ගත කරන මට්ටමේ පසුවන සියලු රෝගීන් භාර ගැනීමට ප්‍රමාණවත් පහසුකම් රෝහල සතුව පවතින බවද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හා සම්බන්ධ වෙමින් රෝගීන් පීඩාවට පත් නොවන අයුරින් එම කටයුතු සිදු කරන බවද හෙතෙම පවසයි.
වාට්ටු 72 ,කින් සමන්විත මහනුවර ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු 04 ක් පවතින බවද අවශ්‍ය වුවහොත් එම ප්‍රමාණය වැඩිකිරීමට පියවර ගන්නා බවද ජයසේකර පැවසීය.
කොවිඩ් අවදානමට මුහුණ දීමට මහනුවර රෝහල සතුව ඇති පහසුකම් ප්‍රමාණවත් දැයි කළ විමසීමකදී ඔහු මේ බව පැවැසීය.
මාකොළ - උතුර
කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට යොමු කර සිටි මාකොළ - උතුර ප්‍රදේශයේ නිවෙස් දෙකක කාන්තාවන් දෙදෙනෙක් එම නිවෙස් තුළම ඊයේ (17 වැනිදා) පෙරවරුවේ මිය ගොස් තිබිණි.
ඇන්ටිජන් පරීක්ෂණවලින් ඔවුනට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.
ඒ අනුව මාකොළ - උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි නවදරු මවක් හා 83 හැවිරිදි සිවු දරු මවක් මෙසේ මිය ගියහ.
මේ පිළිබඳව මරණ පරීක්ෂණ බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා පැවැත්විය.
මොනරාගල
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් 19 රෝගීන් සඳහා වූ වාට්ටුව රෝගීන්ගෙන් පිරීඉතිරීයාම නිසා බොහෝ රෝගීන් අපහසුතාවට පත්ව සිටිති.
මෙම වාට්ටුවේ රෝගීන් 30 දෙනෙකුට ඇඳන් පහසුකම් ඇතත් ඊයේ (17දා) උදෑසන වන විට රෝගීන් 74 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි බැව් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය. මේ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ධනපාල රත්නායකගෙන් කළ විමසීමකදී පැවසුවේ,
වයිරසය ආසාදනය වූ රෝගීන් වැඩි පිරිසක් නිවෙස් වලට යවා ප්‍රතිකාර කිරීමට කටයුතු කළත් දිනෙන් දිනම රෝගීන් වැඩිවීම නිසා රෝහලේ තදබදයක් ඇති බවයි.
මොනරාගල යෞවුන් සේනාංක මධ්‍යස්ථානය වහාම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
මදුරාවල
මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා තෙවැනි රැලෙන් ආසාදිතයන් 1,603ක් හමුව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.ග්‍රාම නිලධාරි බලප්‍රදේශ වශයෙන් ගත් කල අඟුරුවාතොට බලප්‍රදේශයෙන් ආසාදිතයන් 125ක්, දෙවැනියාට වරකාගොඩ නැගෙනහිර වසමෙන් ආසාදිතයන් 117ක් සහ තෙවැනියට එළවැල්ල වසමෙන් ආසාදිතයන් 107ක් වශයෙන් වාර්තා වී ඇත. තවදුරටත් එන්නත්කරණය සිදුකරන අතර, මේ වනතෙක් එන්නත ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සිටී නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණ එන්නත ලබාගන්නා මෙන් ද අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙසින් පිටතට නොයන මෙන් ද මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළොඹ කයිසර් වීදිය
රෙදිපිළි තොග සහ සිල්ලර වෙළඳාමට වඩාත් ප්‍රසිද්ධ, කොළඹ කෙයිසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩ සාප්පු දින 10කට වසා දැමීමට වෙළඳසල් හිමියෝ ඊයේ (17) පියවර ගත්හ. කෙයිසර් වීදියට දිවයන්නේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවත්, දිනපතා බොහෝ ප්‍රදේශවල කඩ සාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම පියවර ගත් බවත් කෙයිසර් විදියේ කඩ හිමියෝ පවසති.
ශ්‍රී ලංකා රේගුව
රේගුවේ නිලධාරීන් 44 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි රේගුව සඳහන් කරයි.
මෙම තත්ත්වය නිසා එම නිලධාරීන්ගේ ළඟම ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක්කර තිබෙන බව රේගුව කියයි. කොවිඩ් හමුවේ රේගුවේ අංශ වසා දැමීමට තීරණය කර නොමැති බවත්, රේගුවේ කටයුතු යම් යම් සීමා සහිතව සිදුකෙරෙන බවත්, ඇතැම් අවස්ථාවන්හිදී භාණ්ඩ නිදහස් කිරීමේ කටයුතුවලදී ප්‍රමාදයන් සිදුවන බවත් රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.
දුම්රියස්ථාන 11ක්
කොව්ඩ් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් ඊයේ (17 වැනිදා) වනවිට දුම්රිය ස්ථාන එකොළහක් වසා දමා තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය. ඉඳුරුව, රඹුක්කන, රත්ගම, , විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන, පන්නිපිටිය, උළුගස්ගොඩ,ගම්මාන සහ කළුතර උතුර යන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන මෙලෙස වසාදමා තිබේ. දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන් 41 දෙනෙකු, නියාමකයන් 14 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල 60 දෙනකු වශයෙන් 115 දෙනකුට කොවිඩ් රෝගය වැලඳී ඇතැයිද ස්ථානාධිපති සංගමය සඳහන් කරයි. දුම්රිය ස්ථාන 198න් රැසකටම කොවිඩ් ව්‍යාප්තිය බලපා ඇති බවත් අනාරක්ෂිත තත්ත්වයක සිටිමින් දුම්රිය ධාවන කටයුතු පවත්වාගෙන යන බවත් ලේකම්වරයා සඳහන් කළේය. කෙසේ වෙතත් රඹුක්කන ප්‍රධාන දුම්රිය ස්ථානය අවම කාර්ය මණ්ඩලයක් යොදවා තවදුරටත් පවත්වාගෙන යන බවද සාමාන්‍යාධිකාරීවරයා කියයි.
මේ වනවිට දුම්රිය සේවකයන් 327 දෙනකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවත් සේවකයන් දෙදෙනකු මියගොස් තිබෙන බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.
0 Comments