මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
වැලිසර
වැලිසර ළය රෝහලේ කාර්ය මණ්ඩලයේ 41 දෙනකු කොවිඩ් වයිරසය ආසාදිතයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව එම රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය ඩී.එල්. වනිගරත්න මහතා පවසයි. හඳුනාගෙන ඇති රෝගීන් අතරින් වෛද්‍යවරුන් දෙදෙනකු, හෙදියන් 8 දෙනකු සහ කනිෂ්ඨ සේවකයන් 31 දෙනකු වන බව ද අධ්යක්ෂවරයා පවසා සිටියි. මේ වනවිට වැලිසර ළය රෝහලේ වාට්ටු පහක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කොට ඇති අතර, කොවිඩ් වයිරසය ආසාදිතයන් 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
රත්ගම
රත්ගම ප්‍රාදේශීය සභා සභාපති ටී. නිමල් මහතා කොරෝනා ආසාදනය වී රෝහල් ගත කිරීමට පියවර ගත් බව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන බූස්ස කොරෝනා ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයට ටී. නිමල් මහතා ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීව්වේය. මේ වනවිට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හතර දෙනකුට හා ලේකම්වරිය ඇතුළු සේවක සේවිකාවන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව රත්ගම ප්‍රාදේශීය සභාව කියයි.
බලපිටිය
මේ දින කිහිපය ඇතුළත බලපිටිය මූලික රෝහලේදී කොරෝනා නිසා මිය ගිය හැට දෙනකුගේ මරණ පරීක්ෂණ සිදු කළ බව බලපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂිකා කේ. වගාආරච්චි මහත්මිය (24) කීවාය. මේ දත්තයන් පෙරේදා (23) දක්වා බලපිටිය මූලික රෝහලේදී තමන් සිදු කළ මරණ පරික්ෂණ බවද පැවසූ වගආරච්චි මහත්මිය ඊයේ (24) මරණ තුනක් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ ලැබීමට නියමිත බවද පැවසුවාය. කොරෝනා රෝගයෙන් මිය ගිය හැට දෙනාගෙන් පිරිමි සහ ගැහැණු තිස් එක්දේනා බැගින් සමව ඒ අතර වූ බවද වගආරච්චි මහත්මිය වැඩිදුරටත් කීවාය.
අඹගමුව
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තිදෙනකු කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පැවැසුවේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ඇබොස්ලි වතුයායේ අවුරුදු 68ක් වයසැති පිරිමි පුද්ගලයකු හා හැටන් බඩාරනායකපුර අවුරුදු 82ක් වයසැති කාන්තාවක, දරවල පහළ කොටස පදිංචි අවුරුදු 63ක් වයසැති කාන්තාවක කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බවය. මෙසේ මියගිය තිදෙනාම කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන සිටි අය බවත්, මෙසේ මියගිය තිදෙනාගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කර, ඔවුන් පී.සී.ආර්. පරික්ෂක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් පැවැසීය.
මල්වාන
කොරෝනා වයිරසය ආසාදනය වී නිවෙසේ සිය බිරියත් සමග නිරෝධායනය වෙමින් සිටි හැට දෙහැවිරිදි දෙදරු පියකු පෙරේදා (23 වැනිදා) පස්වරුවේ මියගොස් ඇතැයි බියගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මල්වාන වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි අයකු වන බව ද පොලිසිය සඳහන් කරයි. මොහු කොරෝනා මර්දන කිසිම එන්නතක් ලබාගෙන නැති බවත් පොලිසිය කියයි.. මොහු සිය බිරිය සමග නිවෙසේ නිරෝධායනය වෙමින් සිටියදී ඔහුට හුස්ම ගැනීමට අපහසු වී වතුපිටිවල රජයේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගිය බව ද පොලිසිය කීය.
මධ්‍යම පළාත
මධ්‍යම පළාතට අයත් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වයිරසය ආසාදිත මරණ 1278 ක් ඊයේ (24) දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි. කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිදුව ඇති මෙම මරණ 1278 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 780ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 280ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 218ක් වශයෙන් මෙම මරණ1278 අයත් බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බලන්ගොඩ
බලන්ගොඩ ප්‍රදේශයේ වයස තුනයි මාස හතක සිගිති දරියක කොවිඩ් වයිරසය ආසාදනය වී මියගොස් ඇති බවට පෙරේදා (23 වැනිදා) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. බලන්ගොඩ පින්නවල පොලිස් බලප්‍රදේශයට අයත් මාරතැන්න වතුයායේ දෙතනගල ඉහළ කොටසේ පදිංචිව සිටි විග්නේෂ්වරන් සාදුක්ෂා නමැති සිගිත්තියක මෙලෙස කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. එම දැරියට ඉකුත් 21 වැනිදා සවස හදිසියේ ඇති වූ ශ්වසන ආබාධයක් හේතුවෙන් පින්නවල මාරතැන්න වතු රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ 20ක් පෙරේදා (23 වැනිදා) වාර්තා විය. මෙම පොලිස් වසම් මට්ටමින් එම මරණ වර්තා වුයේ මෙසේය. හොරණ 1ක්, මොරගහහේන 4ක්, පානදුර දකුණ 2ක්, බණ්ඩාරගම 2ක්, වාද්දුව 2ක්, පිංවත්ත 1ක්, පානදුර උතුර 2ක්, හිරන 2ක්, කළුතර දකුණ 1ක්, දොඩම්ගොඩ 2ක් සහ බේරුවල 1ක් වශයෙනි.
නාඋල
නාඋල පොලිස් බලප්‍රදේශයේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23 වැනිදා) පස්වරුවේ මියගොස් ඇතැයි නාඋල පොලිසියේ කොඩ් මර්ගදන ඒකකය කියයි. නිවෙස් තුළදීම මියගොස් ඇති මෙම පුද්ගලයන් දෙදෙනාගේ සිරුරුවල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා කිරිමෙන් අනතුරුව මොවුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නාඋල - කණුමුලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි වාසල මුදියන්සේලාගේ මුතුබණ්ඩා (65) සහ නාඋල - කෙහෙල්අැල්ලයා ප්‍රදේශයේ පදිංචිව සිටි සින්නයියා අලගන් (58) නමැති අයවලුන් බව පොලිසිය කියයි.
ආණමඩුව
ආණමඩුව මහේස්ත්‍රාත්වරිය හා ඇගේ සැමියාට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් නිල නිවසේ නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මහේස්ත්‍රාත්වරියට හා ඇගේ සැමියාට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසුව මොවුන් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව කියති. කොරෝනා වසංගතය පැවතියද එය බාධාවක් කර නොගෙන ජනතාව අපහසුතාවයන්ට පත් නොකරමින් මහේස්ත්‍රාත්වරිය තම රාජකාරි නිසි ලෙස පවත්වාගෙන ගොස් තිබූ බවද වාර්තා වේ. කොරෝනා ආසාදනය වූ මහේස්ත්‍රාත්වරියගේ තත්වය යහපත් බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කළේය.
යාපනය
යාපනය දිස්ත්‍රික්කයේ දෛනික කොරෝනා ආසාදිතයන් අගය ශීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර, ආසාදිතයන් 10,000 ඉක්මවද්දී මරණ 200ක් වාර්තා වී ඇති බවට යාපනය දිස්ත්‍රික් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂ් මහතා පැවසීය. යාපනයේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍යයට අදහස් දක්වමින් දිසාපතිවරයා මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා පවසා සිටියේ, “ගෙවී ගිය අවසන් දින කිහිපයක තුළදී කොරෝනා මරණ සංඛ්‍යාව යාපනයේ වැඩි වීම මගින් මරණ 200 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ වගේම ආසාදිතයන් 10,000 සීමාවත් ඉක්මවලා. දෛනික පුද්ගල ආසාදිත අගය 130ත් ඉක්මවලා.
මේ වනවිට යාපනයේ පවුල් 3,019කට අයත් පුද්ගලයන් 8,616ක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබෙනවා. පවතින තත්වය බොහෝ සෙයින් අවදානම් හෙයින් කිසිදු වැසියකු සිය නිවෙසින් පිටතට නොයන ලෙසටත්, හැකි අයුරින් සෞඛ්‍යය නිලධාරින්ට සහාය ලබාදෙන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙනි.
බදුල්ල
කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු බදුල්ල මහ රෝහලේ දී මියගිය බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෙද්‍ය නිලධාරී, රජයේ නිලධාරී සංගමයේ උව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (24) පැවසීය. පස්සර, පංගුවත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු, කන්දකැටිය මහවැලි ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක, බදුල්ල ජම්බුගස් මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයකු, හාලි ඇළ බෝගහමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයකු, හාලිඇළ උණගොල්ල වත්තේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක සහ බදුල්ල සිරිමල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක මෙසේ මියගොස් ඇතැයි හෙතෙම සඳහන් කළේය. මේ දිනවල කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය මෙන්ම කොවිඩ් ආසාදිත මරණ ගණන ද නොසිතූ ලෙස ඉහළ යමින් පවතින හෙයින් ජනතාවට කොවිඩ් 19 සෞඛ්‍යය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් නිවෙස්වලට වී රැඳී සිටින ලෙසටද බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා දැනුම් දෙයි.
පොලොන්නරුව
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වැනි රැල්ලේ කොරෝනා ආසාදිතයන් ගණන 5,905ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙරේදා (23 වැනිදා) නිකුත් කළ නවතම දත්ත අනාවරණය කරයි. ඒ අනුව, දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත පාසල් ළමුන් ගණන ද 380ක් දක්වා ඉහළ නැග ඇත. අලුතින් හඳුනාගෙන තිබෙන කොරෝනා ආසාදිත පුද්ගලයන් ගණන 210කි. වැඩිම කොරෝනා ආසාදිතයන් හමු වී ඇත්තේ සිරිපුර, තමන්කඩුව, වැලිකන්ද, අරලගංවිල සහ මැදිරිගිරිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලිනි.
පන්නල
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල මුකලාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඉකුත් 22 වැනිදා මියගොස් ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මියගොස් ඇති කාන්තාව කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ද පෙරේදා (23 වැනිදා) සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ද සඳහන් වේ.
ලග්ගල
ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සෙනාරන්ත මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ප්‍රාදේශීය සභා ආරංචි මාර්ග කියයි. මේ වනවිට සභාපතිවරයා ඇතුළු පවුලේ කිහිපදෙනකු ලග්ගල කොවිඩ් ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි. ඔහුගේ පවුලේ කිහිපදෙනකුටම කොවිඩ් ආසාදනය වී ඇති බවද වාර්තා වන අතර මේ බව දන්වමින් ප්‍රාදේශීය සභාවේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කර තිබේ.
වවුනියාව
වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී 24 දෙනකු කොවිඩ් 19 වයිරසය ආසාදිතව හදුනාගෙන ඇතැයි වවුනියාව දකුණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් කාර්යාලය පවසයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ පිරිසක් කොවිඩ් 19 වයිරස ආසාදිතව හඳුනාගැනීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී ආසාදිත පිරිස හඳුනාගත් බව පැවසීය. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු විවිධ අංශවල රාජකාරි සිදුකළ පිරිස් එලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවද පැවසීය.
මාතලේ
මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව නගර සභා ආරංචි මාර්ග කියයි. මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ මාතලේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු වන ස්ටෙෆාන් බෙරේන්ජර් මහතා වන අතර තමාට කොවිඩ් ආසාදනය වී ඇති බව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා තිබේ.
කොටගල
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් 24දා නව ආසාදිතයන් 55 දෙනෙකු හඳුනාගත් බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක පැවසීය.
ඉකුත් (21) දින කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි 70 දෙනෙකුගෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් 55දෙනා හඳුනාගත් බවත්, එම ආසාදිතයන් තලවකැලේ චාමස් ප්‍රදේශයෙන් 13, කොටගල ක්‍රිස්වස්ෆාම් වතු යායෙන් 12, තලවකැලේ ප්‍රදේශයෙන් 11 , කොටගල මේෆිල්ඩ් 05 ඇතුළු තවත් වතු කිහිපයකින් සෙසු ආසාදිතයන් හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවැසීය.
පුත්තලම
කොවිඩ් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 85 දෙනෙකු 23 වැනිදා දිනය තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පුත්තලම, ආණමඩුව සහ කල්පිටියෙන් කොවිඩ් ආසාධිතයන් 50 දෙනෙකු වාර්තා වී ඇත. ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය සහ ඇයගේ ස්වාමි පුරුෂයාද හඳුනාගෙන ඇති ආසාධිතයින් අතර වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ අතර හලාවත සහ මාදම්පේ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු වාර්තා වී ඇත. මාදම්පේ පොලිසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුද ඒ අතර වේ. පසුගිය දින කීපය තුළ මාදම්පේ පොලිසියේ සේවය කරන නිලධාරින් 07 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වී තිබුණි. වෙන්නප්පුව සහ දංකොටුව ප්‍රදේශවලින් කොවිඩ් ආසාධිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කරාපිටිය
පසුගිය මාස 8 දී කොවිඩ් ආසාදිත මළ සිරුරු 492ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වී ඇත.
කොවිඩි ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකොට ඇත්තේ මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට අගෝස්තු මස 23 වැනි දින දක්වා කාලය තුළදී බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ගාල්ල
කිසිදු කොවිඩ් එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 18023 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඇති බවත් මේ වනවිට ඒ අය හඳුනාගෙන එන්නත්කරණය කිරීමේ කටයුතු ආරම්භකොට ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි. මෙම වැඩිහිටි ප්‍රජාව සඳහා එන්නත් කිරීම ඊයේ (23) දින සිට ආරම්භකොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. හබරාදුව හා ගාල්ල කඩවත්සතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි වයස අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබානොගත් පුද්ගලයින් සඳහා එන්නත් කිරීමේ කටයුතු යුද හමුදාවේ මැදිහත් වීමෙන් ආරම්භ කළ බවද ඔහු පවසයි.
දකුණු පළාත
දකුණේ ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය තරම් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මෙන්ම පෞද්ගලික රෝහල් රසායනාගාර ආදියේ නොමැති බවත් කරාපිටිය රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන්නේ රෝහලට ඇතුළත් වන්නේ නම් පමණක් බවත් මේ වනවිට ආසාදිත හා අනෙක් පිරිස්වලට මහත් ගැටලුවක් වී ඇති බවත් පවසමින් දකුණේ ඇතැම් ප්‍රදේශවල ජනතාව මැසිවිලි නගති.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ චන්දිම සිරිතුංගගෙන් විමසූ විට මෙසේ කීය.
‘ඇත්තෙන්ම දරුණු හිඟයක් කීම නම් පිළිගන්න බෑ. අදත් රෝගීන් 1500කට ආසන් පිරිසක් වාර්තා වෙනවා. ඒ වගේ පිරිසක් වාර්තා වෙන්න පී.සී.ආර්. විශාල ප්‍රමාණයක් සිදුකළ යුතුයි. පවුලේ කෙනෙක් ආසාදනය වුණාම පවුලේ පහක් ඉන්නවා නම් ඒ කාටත් කරන්න බැරි වෙයි. අපේ නිලධාරීන් දිවා රාත්‍රි වැඩ කරනවා. කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක්. සම්පූර්ණයෙන් නැවතිලා කියන කතාව මම කොහොමවත් පිළිගන්නේ නැහැ. ගෙන්වා ගැනීමේ ප්‍රමාදයක් ඇතිවෙන්න පුළුවන්. කොහොම වුණත් මේ පිළිබඳව මා සොයා බලන්නම්.’
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසූ විට මේ දක්වා කිසියම් අඩුවක් පැවතුණද ඊයේ කට්ටල 500ක් ලැබුණු බව පැවසුවේය.
0 Comments