covid19-grama-niladari

මේ දක්වා කෝවිඩ් එන්නත් ලබා දී ඇති පුද්ගලයන් පිළිබද තොරතුරු වාර්තාවක් එවන ලෙසට ජනාධිපති ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ග්‍රාම නිලධාරින්ට දන්වා එවා ඇති බවත් එසේ ඉල්ලීමක් කිරීම විහිළුවක් බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පැවසීය.

ඊයේ (01) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායකවරයා, " ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව 2021.07.22 වැනිදා තමින් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ දක්වා කෝවිඩ් එන්නත් ලබාදී ඇති පුද්ගලයන් පිළිබද ක්ෂණිකවම තොරතුරු වාර්තා එවන ලෙසට ග්‍රාම නිලධාරින්ට ලිපියකින් දන්වා තිබෙනවා.


මට ඇත්තටම ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් කෝවිඩ් එන්නත් ලබාදී ඇති පුද්ගලයන් පිළිබද තොරතුරු ඉල්ලීම විහිළුවක්. ඒ පිළිබඳව නිවැරදි තොරතුරු වාර්තා ඇත්තේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල, සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සතුවයි.


නිවැරදි තොරතුරු වාර්තාවක් සකස් කර ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් සොඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් කෝවිඩ් එන්නත්කරණය පිළිබද වාර්තා ලබා ගැනීමයි.” යයිද පවසා සිටියේය.

(වාරණ - ආනන්ද ඉ ජයකොඩි)