covid19-work-at-home

කොවිඩ්-19 රෝගීන් සඳහා නිවාස සත්කාරය සැපයීම පිළිබඳ සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ ජනතාව වන අපි, අප වෙත වගකීමක් ලබා දුනහොත් එම වගකීම නිසි පරිදි ඉටු කරන බව ඔවුන්ට පෙන්වා දීමට කාලය පැමිණ ඇත.
 
රෝගී පුද්ගලයා වෙනම කාමරයක නැවතී සිටිය යුතුය. මෙය කළ නොහැකි නම්, ඔහු/ඇයගෙන් අවම වශයෙන් මීටර් 1ක පරතරයක් තබාගන්න. රෝගී පුද්ගලයා සහ ඔහු/ඇය සමග ඒ කාමරයේ සිටින ඕනෑම අයෙකු සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණයක් පලඳින්න.

හැකි නම්, සත්කාර සපයන්නන්ගේ සංඛ්‍යාව වෙනත් රෝගාබාධ නොමැති එක් අයෙකුට සීමා කරන්න.

ශ්‍රී ලංකාවේ ආසාදනය වීම සීග්‍රයෙන් ඉහළ යාම හා සෞඛ්‍ය පද්ධතිවලට ඒවායේ ධාරිතාවන් ඉක්මවීමත් සමග සියලු කොවිඩ්-19 රෝගීන් සඳහා රෝහල් ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම සමග; රෝග ලක්ෂණ නොපෙන්වන හා සුළු අසනීප තත්ත්වයක් ඇති කොවිඩ්-19 රෝගීන් සිය නිවෙස් තුළම රඳවා සායනික සත්කාර සැපයීමේ පසුබිම සැකසෙමින් පවතී. මෙම සන්දර්භය තුළ, ප්‍රවේශමෙන් සායනිකව පරීක්ෂාවට ලක් කර තෝරාගත් රෝගීන් සඳහා නිවෙස් පදනම් කරගෙන සත්කාර සැපයීම සඳහා සැලසුම් සකස් කිරීම හා ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීම වැදගත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, කොවිඩ්-19 රෝගය සුළු, මධ්‍යස්ථ හා දරුණු ලෙස සායනික කාණ්ඩ 3කට වර්ගීකරණය කළ හැක. මෙහි සඳහන් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති කොවිඩ්-19 සුළු රෝග තත්ත්වය ඇති බවට වර්ගීකරණය කර ඇති පුද්ගලයින්ට ප්‍රමාණවත් ලෙස අන් අයගෙන් හුදෙකලා වුවහොත් නිවසේ රැඳී සිටිය හැකිය.

මෙය කිසිවිටෙකත් රෝගියා හෝ පවුලේ අය විසින් ගතයුතු තීරණයක් නොවන බව අවධාරණයෙන් පෙන්වාදිය යුත්තකි. මෙම තීරණය ගත යුත්තේ සෞඛ්‍ය සේවා කණ්ඩායමක් විසින් ප්‍රවේශමෙන් සායනිකව තෝරාබේරා ගැනීමකින් පසු වන අතර, මෙම තීරණය ගැනීමේදී රෝගියාගේ අතීත හා වර්තමාන සෞඛ්‍ය තත්ත්වයට අමතරව රෝගියාගේ භෞතික නිවසේ යටිතල පහසුකම් පිළිබඳවද දැනුවත්ව අදාළ තීරණය ගැනීම වටියි.



රෝගියාට සත්කාර කිරීම සිදු කළ නොහැකි හෝ අනාරක්ෂිත වූ විට (උදාහරණයක් ලෙසින් සෞඛ්‍ය සේවා ධාරිතාව ප්‍රමාණවත් නොවන විට) තහවුරු වූ කොවිඩ්-19 ආසාදිත වැඩිහිටියෙකු හෝ දරුවෙකු සඳහා නිවෙස් සත්කාරය සලකා බැලිය යුතුය. නිවෙස්ගත සත්කාර කිරීමේ පිළිවෙත නිවසේ වෙසෙන අනෙක් පුද්ගලයින්ට වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි කරන බව පැහැදිලිව සිහිතබා ගත යුතුය. කෙසේ වෙතත්, නිවසේ වෙසෙන පුද්ගලයින් හුදෙකලා කිරීම සහ ප්‍රවේශමෙන් තෝරාගත් රෝගීන්ට පමණක් ප්‍රතිකාර ලබා දීම සඳහා නිවස සායනික පසුබිමක් ලෙස භාවිතා කිරීම මගින්, වයිරස සම්ප්‍රෂේණය වීමේ දාමය බිඳ දැමීමට වැදගත් දායකත්වයක් ලබාදිය හැකිය.

වයස අවුරුදු 60ට අඩු, දුම් පානය නොකරන, තරබාරු නොවන සහ හෘද රෝග, දියවැඩියාව, නිදන්ගත පෙණහලු රෝග, පිළිකා, නිදන්ගත වකුගඩු රෝග, ප්‍රතිශක්තීකරණ හීන වූ යනාදී වෙනත් රෝග නොමැති පුද්ගලයින් සඳහා නිවෙස් සත්කාරය (අනෙකුත් අවශ්‍යතා සපුරනු ලදුව) සලකා බැලීම යෝග්‍ය වේ.

නිවසේදී ආසාදිත පුද්ගලයෙකු හුදෙකලා කර සත්කාර කිරීමේ තීරණය පහත සඳහන් සාධක 3 මත රඳා පවතී.

1. COVID-19 රෝගියාගේ සායනික ඇගයීම

2. නිවෙස් පසුබිම ඇගයීම ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිවෙස් රැකවරණය සඳහා නිවසක් සායනික පසුබිමක් ලෙස සැලකීමේදී තොරතුරු සටහන 1ට අමතරව පහත සඳහන් කරුණුද සලකා බැලිය යුතුය. ඒ අනුව අවම වශයෙන් තනි කාමර දෙකක්, ප්‍රමාණවත් ස්වාභාවික වාතාශ්‍රය සහ වැසිකිළි දෙකක් සහිතව ප්‍රමාණවත් බිම් ඉඩකඩ ප්‍රමාණයක් තිබීම, නිවසට ගලායන ජල සැපයුමක් තිබීම මෙන්ම නිතිපතා සහ හදිසි අවස්ථාවක දී ආසාදිත රෝගියාට හෝ පවුලේ සාමාජිකයින්ට සෞඛ්‍ය සේවා සපයන්නන් සම්බන්ධ කර ගැනීම සඳහා සන්නිවේදන පහසුකම් තිබිය යුතුය.

3. නිවසේ සිටින ආසාදිත පුද්ගලයාගේ සායනික තත්ත්වය අධීක්ෂණය කිරීමේ හැකියාව තිබිය යුතුය.

සත්කාර සඳහා නිවසක් සායනික පසුබිමක් ලෙස ඇගයීමේදී සැලකිය යුතු කරුණු

• කොවිඩ්-19 ආසාදිත පුද්ගලයා ජීවත් වන්නේ තනිවමද? එසේ නම් ඔවුන්ට ඇති උපකාර ජාලය කුමක්ද? එසේ නොවේ නම්, ඔවුන් සමග නිවසේ ජීවත් වන්නේ කවුද?

• ආසාදිත පුද්ගලයා සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ජීවත් වන්නේ කෙසේද? නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කෙතරම් ශක්‍යතාවයක් තිබේද, එය කෙතරම් ප්‍රායෝගිකද? පවතින විකල්ප මොනවාද?

• ආබාධිත තත්ත්ව සම්බන්ධ අවශ්‍යතා, වැඩිහිටියන්, වයස්ගත පුද්ගලයින් හෝ ළමුන් රැකබලා ගැනීමේ වගකීම් සම්බන්ධ අවශ්‍යතා මොනවාද? අනෙකුත් ගෘහස්ථ සාමාජිකයන්ගේ අවශ්‍යතා මොනවාද?

• කොවිඩ්-19 ආසාදිත පුද්ගලයාට නිවසේදී උපකාර කිරීම සඳහා එක් සත්කාරකයෙකු හඳුනා ගැනීමට ඇති ශක්‍යතාවය කොපමණද?

• නිවස තුළ සම්ප්‍රේෂණය වැළැක්වීම පිළිබඳව ගෘහස්ථ සාමාජිකයින්ගේ දැනුවත් භාවය කොපමණද? කොවිඩ්-19 සහ සම්ප්‍රේෂණ වැළැක්වීම පිළිබඳ ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතා මොනවාද? අවශ්‍ය වුවහොත් කොවිඩ්-19 සහිත පුද්ගලයාට සත්කාර කිරීම සම්බන්ධයෙන් අමතර සහාය හෝ තොරතුරු ලබා ගත යුතු ආකාරය නිවැසියන් දැනුවත්ද?

• ආසාදිත රෝගියා සහ හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට නිවසේදී මෙම තත්ත්වය දරා ගැනීමට හැකි වීමට නම් ඔවුන්ට අවශ්‍ය යැයි ඔවුන් සිතන්නේ මොනවාද?

• වෛද්‍ය ආධාර ඉල්ලා සිටිය යුත්තේ කුමන අවස්ථාවේ දැයි පවුලේ අයට වැටහෙනවාද? වෛද්‍ය ආධාර ඉල්ලා සිටීමට ඔවුන්ට ක්‍රමයක් තිබේද?

• ආසාදිතයා සහ නිවසේ සාමාජිකයන්ගේ මනෝ සමාජීය අවශ්‍යතා මොනවාද? මෙහි චිත්තවේගීය බලපෑම හෝ අපකීර්තියට පත්වේ යැයි ඇති බිය සමග කටයුතු කිරීමට අදාළව ඔවුන්ට ඇති උපකාර මොනවාද?

• ගෘහස්ථයට ඇති ආර්ථික බලපෑම කුමක්ද? මූල්‍යමය වශයෙන් ප්‍රාථමික සැපයුම්කරු කවුද? එම පුද්ගලයාව හුදෙකලා කිරීමට අවශ්‍ය වුවහොත් සහ/හෝ එම පුද්ගලයාට අමතර ගෘහස්ථ හෝ සත්කාරක වගකීම් දැරීමට සිදු වුවහොත් එහි බලපෑම කුමක්ද?

• කොවිඩ්-19 ආසාදිත පුද්ගලයාගේ සත්කාරය ගැන පසු විපරම් කිරීම සම්බන්ධ වගකීම දරන සෞඛ්‍ය සේවා සැපයුම් මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයා (හැකි නම් නම් කරන්න) කවුරුන්ද? මෙම සත්කාරය සම්බන්ධයෙන් පසු විපරම පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද?

නිවෙස් සත්කාර ලබා ගන්නා කොවිඩ්-19 ආසාදිත පුද්ගලයෙකුගේ අධීක්ෂණය කළ යුතු දේ

රෝගියාට සහ සත්කාර සපයන්නාට, සංකූලතාවන්හි සංඥා හා රෝග ලක්ෂණ ගැන හෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් දිය යුතුය.

නිවෙස් පසුබිම තුළ අධීක්ෂණය කළ යුතු වැදගත්ම පරාමිතීන් වන්නේ, උණ, හුස්ම ගැනීමේ අපහසුතාව, වේගවත් හෝ නොගැඹුරු ලෙස හුස්ම ගැනීම, නිල් පැහැ තොල් හෝ මුහුණ, පපුවේ වේදනාව හෝ පීඩනය, ව්‍යාකූලත්වය (කලින් නොතිබූ), අවදි වීමට නොහැකි වීම, අවදියෙන් සිටින විට අන්තර්ක්‍රියා කිරීමට නොහැකි වීම හා, දියර පානය කිරීමට නොහැකි වීම හෝ පානයෙන් පසු වමනය යනාදිය වේ. මීට අමතරව ළදරුවන්ගේ, උගුරෙන් ශබ්ද නැගීම සහ මව්කිරි දීමට නොහැකි වීමද සැලකිල්ලට ගත යුතුය. (මෙම ලැයිස්තුව පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර, රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් කිසියම් සැකයක් ඇත්නම් නොපමාව සෞඛ්‍ය සේවා කණ්ඩායම ඇමතිය යුත්තේය.)

රෝගියකු නිවසේ තබන විට ස්පන්ධන ඔක්සිමීටරයක් (pulse oximetry) තිබෙන්නේ නම් මැනවි. pulse oximetry යනු රුධිරයේ ඔක්සිජන් සංතෘප්තිය ඇගයීම සඳහා ඇති ආරක්ෂිත, පීඩාකාරී නොවන ක්‍රමයක් වන අතර, මෙමගින් ආරම්භයේ දී සුළු හෝ මධ්‍යස්ථ කොවිඩ්-19 රෝගී තත්ත්වයක් සහිත රෝගීන්ගේ හෝ පිටතට පෙනෙන්නට හුස්ම ගැනීමේ අපහසුතාවයක් නොමැතිව ඔක්සිජන් මට්ටම අඩු වන රෝගීන්ගේ (Silent Hypoxia) අඩු ඔක්සිජන් මට්ටම් කලින් හඳුනා ගැනීමට සහාය විය හැකිය. නිවෙස් pulse oximetry මගින්, වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීමට, ඔක්සිජන් චිකිත්සාව ලබා දීමට හෝ රෝහල්ගත කිරීමට අවශ්‍ය පුද්ගලයින්, ඔවුන්ගේ රෝග ලක්ෂණ නරක අතට හැරීමේ සායනික ලක්ෂණ පෙනීමටත් ප්‍රථමව හඳුනාගත හැකිය.

ලියුම්කරුගේ අදහස නම්, රෝග ලක්ෂණ රහිත සුළු වශයෙන් රෝගී වූ කොවිඩ්-19 රෝගියෙකු සඳහා නිවෙස් සත්කාරය නිර්දේශ කරන්නේ නම්, ඒ සඳහා වන අවම අවශ්‍යතාවයන් අතරට ඇඟිලි ස්පන්දන ඔක්සිමීටරයක් (finger pulse oximeter) ඔවුන් සතුව තිබීම හෝ සොයා ගැනීමට හැකි වීම ඇතුළත් විය යුතු බවයි.



කොවිඩ්-19 ආසාදිත පුද්ගලයෙකුට නිවසේදී සත්කාර කරන්නේ නම් නිවසේ සිටින අනෙක් පුද්ගලයින් අසනීප වීම වැළැක්වීම සඳහා කළ යුත්තේ කුමක්ද? ලබාදී ඇති උපකරණ භාවිතා කිරීම පිළිබඳව සහ අවධානයෙන් බලා සිටිය යුතු රතු කොඩි සංඥා (Red Flag Signs) පිළිබඳව දැනුවත් කිරීම සඳහා රෝගියාට සහ සත්කාරකයන් හට සරල හා කෙටි හඳුන්වාදීමේ වැඩසටහනක් පැවැත්වීමත්, වැඩිදුර උපදෙස් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සම්පාදකයා ඇමතීමට යොමු කිරීමත් යෝග්‍ය වේ.

නිවසේ සිටින අනෙක් පුද්ගලයන්ට COVID-19 පැතිරීම වැළැක්විය හැකි පූර්වාරක්ෂා පියවර කිහිපයක් තිබේ:

• රෝගී පුද්ගලයා වෙනම කාමරයක නැවතී සිටිය යුතුය. මෙය කළ නොහැකි නම්, ඔහු/ඇයගෙන් අවම වශයෙන් මීටර් 1ක පරතරයක් තබාගන්න. රෝගී පුද්ගලයා සහ ඔහු/ඇය සමග ඒ කාමරයේ සිටින ඕනෑම අයෙකු සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණයක් පැලඳිය යුතුය. රෝගී පුද්ගලයාගේ කාමරයට සහ ඔහු/ඇය සමග හවුලේ භාවිත කරන අවකාශවලට හොඳ වාතාශ්‍රයක් සැපයිය යුතුය. හැකියාවක් පවතී හා ආරක්ෂිත නම් කවුළු විවෘත කර තබන්න.

• රෝගී පුද්ගලයා හැකි හැම විටම මුඛ ආවාරණයක් පැලඳිය යුතුය; විශේෂයෙන් කාමරයේ තනිව නොසිටින විට සහ අන්‍යන්ගෙන් අවම වශයෙන් මීටරයක පරතරයක් පවත්වා ගත නොහැකි විට මෙය සිදු කළ යුතුය.

• නිවස තුළ රෝගියාගේ සංචරණය සීමා කරන්න, ඔහු/ඇය සමග ස්ථාන හවුලේ භාවිත කිරීම අවම කරන්න. හවුල් අවශ්‍යතාවන්වලට (උදා: මුළුතැන්ගෙය, නාන කාමරය) හොඳින් වාතාශ්‍රය ලැබෙන බවට සහතික වන්න.

• අමුත්තන් නිවස තුළට නොපැමිණිය යුතුය.

• හැකි නම්, සත්කාර සපයන්නන්ගේ සංඛ්‍යාව වෙනත් රෝගාබාධ නොමැති එක් අයෙකුට සීමා කරන්න.

• සත්කාරකයා සහ නිවැසියන් රෝගී පුද්ගලයෙකු සමග එකම කාමරයේ සිටින විට සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණයක් පැලඳිය යුතු අතර, භාවිතයේදී ඔවුන්ගේ මුඛ ආවරණය හෝ මුහුණ ස්පර්ශ නොකළ යුතුය. කාමරයෙන් පිටතට ආ පසු මුහුණු ආවරණය ඉවත ලා, පසුව හොඳින් දෑත් සෝදා ගත යුතුය.

• රෝගී පුද්ගලයාටම වෙන් කළ පිඟන්, කෝප්ප, ආහාර ගැනීමේ උපකරණ, තුවා සහ ඇඳ ඇතිරිලි තිබිය යුතුය. ඒවා සබන් හා වතුර යොදා සෝදා ගත යුතු අතර, අන් අය සමග හවුලේ භාවිතා නොකළ යුතුය.

• රෝගී පුද්ගලයා නිතර ස්පර්ශ කරන පෘෂ්ඨයන් අවම වශයෙන් දිනපතා පිරිසුදු කර විෂබීජහරණය කළ යුතුය.

• නිවසේ සිටින සෑම කෙනෙකු ම නිතිපතා සබන් හා වතුර යොදා අත් සේදිය යුතුය (විශේෂයෙන් කැස්ස හෝ කිවිසුම් යාමෙන් පසු, ආහාර පිළියෙළ කිරීමට පෙර, පිළියෙල කරන අතරතුර සහ ඊට පසු, කෑමට පෙර, වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු, රෝගී පුද්ගලයාට සත්කාර කිරීමට පෙර සහ පසු, අත් අපිරිසුදු බව පෙනෙන්නට තිබෙන විට)

• කැස්සක් හෝ කිවිසුමක් ආ විට, වැලමිට නවා හෝ ඉවත දැමිය හැකි ටිෂූ එකකින් ආවරණය කළ යුතු අතර, භාවිතයෙන් පසු ක්ෂණිකව ටිෂූ එක බැහැර කළ යුතුය.

• රෝගී පුද්ගලයාගේ අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙර ශක්තිමත් සංවෘත බෑග්වල ඇසුරුම් කළ යුතුය.

මුඛ ආවරණ (අත්‍යාවශ්‍යයි, 3 ply surgical masks ප්‍රමාණවත්), මුහුණු ආවරණ (අත්‍යාවශ්‍ය නොවේ), ඉවත දැමිය හැකි හෝ සේදිය හැකි ශරීර ආවරණ (අත්‍යාවශ්‍ය නොවේ), 70% ඇල්කොහොල් අත් සේදුම් සනීපාරක්ෂක (පිරිසුදු ගලායන ජලය සහ සබන් තිබේ නම් අත්‍යවශ්‍ය නොවේ) යන දේවල්වල ස්ථාවර සැපයුමක් නිවසේ පවත්වා ගැනීමට ගෘහස්ථය (රෝගියා සහ සත්කාරකයා/සත්කාරකයන්) උනන්දු කරවිය යුතු ය.

COVID-19 ආසාදිත පුද්ගලයන් නිවසේ සහ හුදෙකලා වී කොපමණ කාලයක් සිටිය යුතු ද?

නිවසේදී සත්කාර ලබන COVID-19 ආසාදිත පුද්ගලයන් තවදුරටත් වයිරසය අන් අයට සම්ප්‍රේෂණය කිරීමට නොහැකි වන තුරු හුදෙකලා වී සිටිය යුතුය;

රෝග ලක්ෂණ ඇති අය රෝග ලක්ෂණ වර්ධනය වූ පළමු දිනට පසු අවම වශයෙන් දින 10ක් සහ රෝග ලක්ෂණ අවසන් වීමෙන් පසු (උණ සහ ශ්වසන රෝග ලක්ෂණ නොමැති වූ පසු) තවත් දින 3 ක් හුදකලා වී සිටිය යුතුය.

රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන් පරීක්ෂණයකින් කොවිඩ්-19 ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු අවම වශයෙන් දින 10 ක් හුදෙකලා වී සිටිය යුතුය.

මෙය ඔබ කෙරෙහි තැබූ විශ්වාසයක් බව සිහි තබාගන්න

වෛද්‍ය රුවයිස් හනීෆා
- ප්‍රධානී, පවුල් සෞඛ්‍ය අංශය, වෛද්‍ය පීඨයල කොළඹ විශ්ව විද්‍යාලය