delta-after-varients

වර්තමානයේදී ඩෙල්ටා ප්‍රභේදය ලෙසින් හඳුන්වාදී තිබෙන COVID-19 කෝවිඩ් වයිරසයේ (SARS-COV-2)වඩාත් ඉහළ සම්ප්‍රේෂණයක් සහිත වෛරසයට පසුව ඉදිරියේදී තවත් එකිනෙකට වෙනස් COVID-19 වෛරස ප්‍රභේද රැසක් මතුවීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයන් අනාවරණය කරයි. ඉන්දියාවේදී හඳුනාගත් මෙම ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරුණු නාමකරණ ක්‍රමවේදය යටතේ ග්‍රීක හෝඩිය අනුව යමින් ඩෙල්ටා ලෙස නම් කෙරී ඇත. ඒ අනුව අද වනවිට ලොව පුරා විද්‍යාඥයන් මෙම ඩෙල්ටා ප්‍රභේදය පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් සිටින අතර, යම් දිනෙක එම තැන ගන්නා මීළග ප්‍රභේදය පිළිබදව දැන් සිටම විමසිල්ලට ලක්ව තිබේ. දැනට පවතින දත්ත අනුව ලොව පුරා එන්නත්කරණය සිදුකර නොගත් පිරිස් අතර,

මෙම ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීමේ වැඩි බවක් දැකගත හැකිව තිබේ. එසේම එන්නත් ලබාගත් පිරිස අතරද මුල් වෛරසයට සාපේක්ෂව මෙම ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන තිබේ. සැන්ඩියේගෝ හි ලා ජොලා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ආයතනයේ වෛරස විද්‍යාඥවරියක වන ෂ්‍රේන් කොට් සදහන් කරන ආකාරයට මෙම ඩෙල්ටා ප්‍රභේදයේ ඇති සම්ප්‍රේෂණය අනුව එහි සුපිරි බලයක් පවතී.

එසේම චීන පර්යේෂකයන් පිරිසක් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව ඩෙල්ටා ආසාදනය වූ පුද්ගලයන්ගේ නාසය තුළ මුල් වෛරස සංස්කරණයට සාපේක්ෂව වෛරස අශු 1,260ක් රැදී තිබෙන බව හදුනාගෙන ඇත.එසේම මුල් කොරෝනා වෛරසය ආසාදනයවීමන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින හතකපමණ කාලයක් ගත වුවද. ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම දින දෙකක් තුනක් වැනි ඉක්මනින් සිදුවන බවත් සදහන් වෙයි. ඒ හරහා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා ඉතාමත් අඩු අවස්ථාවක් ලබාදෙන බවත් හඳුනාගෙන ඇත.


මීට අමතරව මෙම ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් ඉක්මනින් විකෘතිතාවට පත්වන බවත්, ඩෙල්ටා ප්ලස් යනු එහි ප්‍රතිඵලයක් බවත් විද්‍යාඥයන් පවසයි.ඉන්දියාව තුළ මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හදුනා ගෙන පසුගිය ජුනි මාසයේදීය. එසේ Outbreak info නමින්  COVID-19 දත්ත නිකුත් කිරීමේ ආයතනයකට අනුව මේ වනවිට ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ලොව රටවල් 32කදී හදුනාගෙන තිබේ. මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට පේරු රාජ්‍යයේදී හඳුනාගත් ලැම්ඩා ප්‍රභේදයද මේ වනවිට තව තර්ජනයක් බව අවධානයට ලක්වෙමින් තිබේ. ලෝක සොඛ්‍ය සංවිධානයේනම් කිරීමට අනුව මෙම ලැම්ඩා ප්‍රභේඳය සතුව තවදුරටත් දරුණු රෝගී තත්වයන් අතිකළ හැකි හෝ සම්ප්‍රේෂණයේ වෙනස්කම් සිදුකළ හැකි තත්වයක් පවන්ත බව හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාව තවදුරටත් පරික්ෂණ මට්ටමේ බව විද්‍යාඥයන් පවසයි.

පවතින මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ධවල මන්දිරයේ COVID-19 පිළිබද ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි, ඇමෙරිකාව තුළ එන්නත්කරණය ලබා නොගැනීම නිසා මෙම නව ප්‍රභේදයන්ගේ දරුණු තත්වයක් එරට ජනතාව වෙත උදාවනු ඇතැයි පවසා තිබේ. විශේෂයෙන්ම එන්නත්කරණය සිදුකර නොගත් පුද්ගලයන් මෙම වෛරසයට තවදුරටත් ව්‍යාප්තවීමට මෙන්ම, නව ප්‍රභේද වෙත විකෘතිවීමට අවස්ථාව සලසා දෙන බවද ඔහුගේ අදහස වී තිබේ. ඒ අනුව මෙම නව කොරෝනා වෛරසයට හේතුවන SARS-CoV-2 වෛරසය පරාජයට පත් කිරීමට නම් මෙම වෛරසයේ සම්ප්‍රේෂණය නැවැත්විය හැකි නව පරම්පරාවේ එන්නතක් සොයාගැනීම අනිවාර්ය බවද ඔහුගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් දැනට පවතින සියලුම එන්නත් පාහේ ඩෙල්ටා ඇතුළු වත්මන් ප්‍රභේදයන් වැලදීමෙන් සිදුවන උග්‍ර රෝගී තත්වයන් හෝ ආසාදිත මරණ සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කිරීමට දායකවී ඇති නිසා හැකි ඉක්මනින් තමාගේ එන්නත් මාත්‍රාව ලබාගැනීම වැදගත් බව විද්‍යාඥයන් පවසයි. එමෙන්ම, වසංගතය සම්පූර්ණයෙන් පාලනය වනතුරු මුඛ ආවරණ පැලදීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීමේ වැදගත්කමද ලොව පුරා විද්‍යාඥයන් අවධාරණය කරයි.