dr-deepal-perera

දරුවන්ට කොරෝනා සහ ඩෙංගු යන වයිරස් දෙකම බෝවීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.  ඩෙංගු සහ කොරෝනා යන වයිරසය ආසාදනය වූ දරුවකු කොළඹ ළමා රෝහලෙන් හමු වූ බව ද එම දරුවා පිළිබඳව දැඩි පරික්ෂාවෙන් පසු වූ අතර ඩෙංගු උණ රෝගයෙන් ඔහු සුවය ලැබූ නමුත් කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.  

මීට අමතරව ළමා රෝහලෙන් ඉකුත් සතියේ දී හමු වූ ළමා කොරෝනා රෝගීන් 7 දෙනකුට බහුඉන්දීය ආසාදන රෝගීතාවය වැළඳී තිබූ බවද එය බරපතළ තත්ත්ව යකැයි ද දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

කොරෝනා සහ ඩෙංගු යන වයිරස් දෙකම එකවර වැළදීම දරුවන් බහුඉන්ද්‍රීය ආසාදන රෝගතාවලට ගොදුරුවීම බරපතළ තත්වයක් හෙයින් දරුවන් පරිස්සම් කර ගැනීම මවුපියන් වගබලාගත යුතු බව ද ඔහු සඳහන් කළේය.  කොළඹ ළමා රෝහලේ කොරෝනා දරුවන් 35 දෙනකු ඉකුත් සතියේ දී ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වනවිට එම රෝගීන් පිරිස 85 දක්වා ඉහළ ගොස් ඇති බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය. මවුපියන් එන්නත් ලබාගත්ත ද ඔවුන්ට සහ දරුවන්ට කොරෝනා වයිරසය වැළඳීමේ අවදානමෙන් මිදිය නොහැකි හෙයින් දරුවන් පරිස්සම් කරගන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවැසීය.


 -රංජන් කස්තුරි-