dr-samitha-ginige

ගම්පහ දිස්ත්‍රික්කයේ හා නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින් අසාමාන්‍ය ලෙස අඩුකර දත්ත ඉදිරිපත් කිරීම නිසා පසුගිය සතියේ මැද මාධ්‍ය මගින් ආන්දෝලනයක් ඇති කළේය. දෙරණ ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයන්ද ඒ වෙනුවෙන් විශාල ඉඩක් වෙන් කළේය.
කොරෝනා වසංගතයට අදාළව නිකුත් කරන දත්ත පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා(12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පිළිතුරු නොදී පවසා සිටියේ වසංගත විද්‍යා ඒකකයේ වත්මන් ප්‍රධානි සමිත ගිනිගේ පැමිණ 16 සඳුදා (ඊයේ දිනයේ) ඒ සම්බන්ධ පිළිතුරු දෙනු ඇති බවයි.
නමුත් ඊයේ ඔහු එසේ පැමිනියේ නැති අතර මේ දක්වා ආන්දෝලනයට තුඩු දුන් සංඛ්‍යා ලේඛන ගැන මාධ්‍යයට ප්‍රකාශයක් හෝ ලබාදී නැත.


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකදී නැවත මේ ගැන අදහස් පළ කළේ මෙසේය.
    ‘දත්ත වෙනස්වෙලා නෙවෙයි තියෙන්නේ. නමුත් මේ දත්ත ගැලපීමේදී අපේ කේස් ඩෙෆීනීෂන් කියලා එකක් තියෙනවා. අන්න එතනදී තමා මේ ගැටලුව පැන නැගිලා තියෙන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයත් වසංගත රෝග විද්‍යා අංශයත් මේ ගැටලුව සාධනීයව විසඳීමට මේ අවස්ථාවේ මැදිහත්වෙලා තියෙනවා. ඉතාම නුදුරේදී මේක සම්පුර්ණයෙන්ම විසඳාගත හැකි බව මාගේ විශ්වාසයයි. එහිදී මේ අපගේ දැනට මුළු ලෝකයේම කතා බහට ලක්වී තිබෙන ඉහළ මරණ අනුපාතිකයත් ඇත්ත වශයෙන්ම පහළ තියෙන මරණ අනුපාතිකයක් බවත් අපට පැහැදිලි කරගත හැකිවෙනවා. ඇත්තටම මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව පෙන්විච්චි එක හොඳයි මේ දත්ත නිවැරදි කර ගැනීමෙන් අනාගතයේදී අපේ ලංකාවේ මරණ අනුපාතිකය ඇත්ත වශයෙන්ම මෙච්ච වැඩි නැහැ කියන එක පෙන්වගන්න පුළුවන් වෙනවා.‘

මෙම දත්ත ගැටලුව නිසා වසංගත විද්‍යා ඒකකය ලබාදෙන කොරෝනා මරණ හා ආසාදිතයින් ප්‍රමාණ සම්බන්ධ දත්ත ගැන විශ්වාසය නැතිවී ගොස් ඇත. එසේම අසාමාන්‍ය ලෙස මරණ අනුපාතිකයෙන් ලෝකයේ අංක එකට ලංකාව පත්ව ඇත.


මීට දින කිහිපයකට පෙර ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළේ දිනක ආසාදිතයන් 5000 ට වැඩියි හමුදා ලොක්කෙක් වෛද්‍යවරු දෙදෙනෙක් දත්ත වෙනස් කරනවා යනුවෙනි.
ඒ ගැන කිසිදු පැහැදිලි කිරීමක් හෝ මේ දක්වා රජයෙන් සිදුව නැත.