francis-welage-ananda-college

කොණ්ඩය කපා නොපැමිණියේ යැයි පාසල් ශිෂ්‍යයකුට අතින් පහර දී සුළු තුවාල කළ බවට නගා තිබූ චෝදනාවකින් කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉකුත් (29) නියෝග කළාය.  විත්තිකරුට එරෙහිව නගා ඇති  චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය විත්තිකාර හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයා එලෙස නිදොස් කොට නිදහස් කළාය.




විත්තිකාර ප්‍රැන්සිස් වෙලගේ යන අය ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කරමින් එහි සිසුවකුට පහර දී සුළු තුවාල සිදුකර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 314 වන වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මරදාන පොලිසිය විත්තිකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි. පොලීසිය ඉදිරිපත් කර තිබූ චෝදනාවට තමන් නිවැරදිකරු බවට විත්තිකරු සඳහන් කිරීම හේතුවෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි. තුවාලකරු, ඔහුගේ පියා,  තුවාලකරුගේ සහෝදරයන් ලබාදී ඇති සාක්‍ෂි මත පමණක් පිහිටා මෙම විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනාවට ඔහු වරදකරු කිරීම යුක්ති සහගත සහ සාධාරණ නොවන බවට  අධිකරණයේ මතය බව සඳහන් කර  කරමින් අධිකරණය එම නියෝගයේ දක්වා ඇත. 


විදුහල්පතිවරයාගෙන්, සිදුවීම දුටු බව කියන ශිෂ්‍යයකුගෙන්, ආරක්ෂක නිලධාරියකුගෙන් හෝ විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණිල්ල උනන්දුවක් දක්වා නොමැති බවට පෙනී යන බව ද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කර ඇත.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉතා දුර්වල විමර්ශනයක් සිදුකර ඇති බවටත්,

එලෙස කටයුතු කිරීම තුළින් පැමිණිල්ලට සහ විත්තියට යන දෙපාර්ශ්වයටම අගතියක් සිදු වී ඇති බවට අධිකරණයේ මතය යැයි මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයෙන් දක්වා ඇත.  විත්තිකරු, කොළඹ ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පාලන වශයෙන් සිටිමින් ඉකුත් 2015 මැයි මස 27 වැනිදා උදේ එම විදුහලේ එම්.එස්.ඩී.  ජයවර්ධන නමැති පාසල් සිසුවාට කොණ්ඩය කපාගෙන නොපැමිණීම සම්බන්ධයෙන් සිසුවාගේ වම් කම්මුලට අතුල් පහරක් ගැසූ බවත් ඉන් තමන්ට  වේදනාවක් හටගත් බවත් සඳහන් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර  තිබුණි.

 නිමන්ති රණසිංහ