gonapinuwala-incident

නිවෙසේදී මියගිය පුද්ගලයකුගේ සිරුරක් නීතියට පටහැනි අයුරින් ආදාහනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිදුකළ මරණ පරික්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව එය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට එම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි මහත්මිය නිගම කළාය.   ඒ අනුව, දේහය ගෝනාපීනුවල අදාහනාගාරයේදී ආදාහනය කිරීමට ද නියම කෙරිණි. මියගොස් ඇත්තේ ගෝනාපීනුවල,  වුලන්ඩ් වත්තේ ටී.එච්. උපුල් රෝහණ ද සිල්වා නමැති 40 හැවිරිදි දෙදරු පියෙකි.




දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මාංශපේශි දියවීමේ රෝගයකින් පෙළෙමින් සිටි මොහු පසුගිය 29 වැනිදා අලුයම 4.00ට පමණ නිවෙසේදීම මියගොස් ඇති අතර, ඒ පිළිබඳ නිවැසියන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කර තිබේ.  ඔවුන්ගේ උපදෙස වී ඇත්තේ සිරුර එම්බාම් නොකර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකරන ලෙසයි. එම උපදෙස් අනුගමනය නොකළ ඥාතීන් දේහය හික්කඩුවේ මල්ශාලාවකට ගෙන ගොස් එම්බාම් කටයුතු සිදුකර   යළි නිවෙසට ගෙනැවිත් එදිනම (29) සවස 4.00ට මෘත දේහය ආදාහනාගාරයට ගෙන ගිය අවස්ථාවේ ග්‍රාම නිලධාරිවරයාගේ හෝ හදිසි මරණ පරික්ෂකගේ අනුමැතියක් නොමැති බැවින් ආදාහනය කිරිම ආදාහනාගාර නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

ඒ අනුව, මරණය සම්බන්ධයෙන් පසුගිය 30 වැනිදා උදෑසන 11.00ට පමණ මියගිය පුද්ගලයාගේ ඥාතියකු  ගෝනාපීනුවල පොලිසියට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, හදිසි මරණ පරික්ෂකවරියට සිද්ධිය පිළිබඳ දැනුම් දී තිබේ.  ඒ වනවිටත් දේහය එම්බාම් කර තිබූ  බැවින් මරණ පරික්ෂක සාගරිකා නිල්මිණී මහත්මිය ඒ සම්බන්ධයෙන්  අධිකරණයට කරුණු වාර්තා කිරිමට කටයුතු කළාය. අධිකරණයේ උපදෙස් අනුව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමු කළ දේහයේ පී.සී.ආර්. පරීක්ෂණය සෘනාත්මක වීමෙන් පසු මරණ පරික්ෂණය පෙරේදා (31) සිදු  කෙරිණි.  පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ලබාදෙන ලද්දේ අධිකරණ අංශයේ  වෛද්‍ය එන්.ඒ.බී. ඩයස් මහතා විසිනි. මරණ පරික්ෂණයේදී ඥාතීන් පවසා ඇත්තේ, පොලිසියට දැනුම් දීමකින්   තොර දේහය ආදාහනය සඳහා ගෙන ගියේ නොදැනුවත්කම හේතුවෙන් බවයි.


 -සිරංගිකා ලොකුකරවිට--