රාජ්‍ය සේවයේ සියලු දෙනා සේවයට කැඳවා ඇතත්, ගැබිනි මවුවරුන් ආදී විශේෂ කණ්ඩායම් සේවයට ගෙන්විය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමේ අවසරය ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇතැයි සම කම්බිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ පැවසීය. මෙවැනි අවස්ථාවක එකම නීතියක් තුළ කටයුතු කළ නොහැකි බව කී ඇමැතිවරයා සුවිශේෂී අවස්ථාවල නම්‍යශීලී තීරණ ගැනීමේ අවසරය ආයතන ප්‍රධානීන්ට පවතින බව ද සඳහන් කළේය.
එබැවින් පවතින තත්වය අනුව, මෙවැනි අය සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා සුදුසු තීරණ ගැනීම ගැටලුවක් නොවන බව ද ඇමැතිවරයා කීවේය. ඇමැති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රාජ්‍ය සේවකයන් සියලු දෙනා සේවයට කැඳවා සිටියදිත් ප්‍රමාණවත් තරම් ප්‍රවාහන සේවා යොදවා නොතිබීම ගැන මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවසුවේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව පිළිගන්නා බවයි. රාජ්‍ය සේවක බහුතරයකට එන්නත දී තිබෙන නිසා රට සාමාන්‍යකරණ ක්රමවේදයක රජය නියැලී ඇතැයි කී රමේෂ් පතිරණ මහතා අදාළ දෙපාර්තමේන්තු හා ආයතනවල තත්වය අනුව තීන්දු තීරණ ගැනීමේ බලය ආයතන ප්‍රධානීන්ට දී තිබෙන බවත්, මතුවන බාධා නිරාකරණය කරමින් ඉදිරියට යාමට රජය බලාපොරොත්තු වන බවත් කීවේය.
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති මෙවන් අවස්ථාවක ඇති විසඳුම වන්නේ එන්නත් හැකිතාක් ලබාදෙමින් තත්ත්වය කළමනාකරණය කරගැනීම බව කී ඇමැතිවරයා ජනතාවට ද ඒ සඳහා වගකීමක් ඇතැයි සඳහන් කළේය. දැනට වීසා ලැබී විදෙස් රටවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න 7,000කට ෆයිසර් එන්නත් ලබා දී ඇතැයි කී ඇමැතිවරයා විදේශ අධ්‍යාපනයට යන දරුවන්ටත් අදාළ රට පිළිගන්නා එන්නත් ලබාදීමට කටයුතු කරන බව කීවේය.
ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමවේදයක් ඇතිකර තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණත් රට තුළ ප්‍රමාණවත් ඔක්සිජන් සංචිත ඇතැයි කී ඇමැතිවරයා රෝහල් ඇඳන් ගැන යම් යම් ප්‍රදේශවල ගැටලු තිබෙන නිසා රෝග ලක්ෂණ නැති රෝගීන් නිවෙස්වලදී බලාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි ද සඳහන් කළේය. රෝගීවන සහ මරණයට පත්වන අයගෙන් සියයට 20ක් එන්නත් ගෙන නොමැති බව කී ඇමැතිවරයා සියයට 80ක් වෙනත් රෝගාබාධ ඇති අය බව ද කීවේය.
(ඩයනා උදයංගනී)
0 Comments