covid19-government

 රජයේ ආයතනයන්හි ප්‍රධානීන්ගේ අභිමතයෙන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ මත රාජ්‍ය සේවකයන් වැඩ මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී එකඟ වූ බවත්, ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ චක්‍රලේඛය අද (06) නිකුත් කිරීමට නියමිත බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 



එමෙන්ම රාජ්‍ය සේවයේ සිටින ගැබිනි මවුවරුන්ට නිවසේ සිට සේවය. සැපයීමට අවශ්‍ය පහසුකම් සපයන්නත් ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛය නිකුත්කිරීමටත් එහිදී තීරණය වූ බව ඊයේ (05දා පාර්ලිමේන්තුවේ පැවැති විවාදය අතර රාජ්‍ය සේවකයන්ට කඩිනමින් කෝවිඩ්-19 එන්නත ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,

 "අපි දන්නවා අද වනවිට රටේ කෝවිඩ්-19 රෝගී තත්ත්වය පිළිබඳ තිබෙන තත්ත්වය සතුටුදායක නැහැ. විශේෂයෙන්ම ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පසුගිය දින කිහිපය තුළ අපි නිරීක්ෂණය කරනවා. අද වනවිට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මුලිමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදාගන්න තත්වයකට ඇවිල්ලා තිබෙනවා. මේ නිසා අපි ඉදිරි සති 02ක කාලය තුළදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබෙනවා.මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමග විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා. විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර පැතින්ම පිළිබඳ අද උදෑසනත් මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ වගේම තමයි මේ වනවිට රාජ්‍ය සේවයේ සිටිනවා යම්කිසි පිරිසක් වයස අවුරුදු 18ත් 30ත් අතර එන්නත ලබා නොගත්ත. ඒ සියලු දෙනාට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරනවා.

ඒ වගේම රාජ්‍ය සේවයේ ආයතනයේ ප්‍රධානියාගේ අභිමතය පරිදි, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිර්දේශ කරන පරීදි සතියකට මුර දෙකකට, සඳුදා, අඟහරුවාදා, බදාදා කියන දවස් 03 එක කණ්ඩායමකටත් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා කියන දවස් තුන තවත් කණ්ඩායමකටත් සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයකට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න එකඟතාව පළ වුණා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ පිළිබඳ චක්‍රලේඛය නිකුත් කරන්න නියමිතයි" යනුවෙන් සඳහන් කළේය.

(දිනේෂ් සමරකෝන්)