ඇය මේ බව පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවේදීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හනි අමරසූරිය මහත්මිය. "කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හෙට දිනයේ විවාදයට නොගන්නා බවත් එය කල් තබන බවත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ කල් තැබීම තුළම එය සංශෝධනය කරන බවද ප්‍රකාශ කර තිබෙනවා. ඒ සංශෝධන මොනවාදැයි කිසිවෙක් දන්නේ නැහැ. මෙය සංශෝධනය කර නිවැරදි කළ නොහැකියි.
අපි එම පනතට විරුද්ධ වුණේ ප්‍රතිපත්තිමය පදනමක් අනුවයි.
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් විය යුතුයි. දියුණු විය යුතුයි. අපි ආරක්ෂක අංශවල අයට උසස් අධ්‍යාපනය ලැබිය යුතු බව පිළිගන්නවා. ඒත් මේ කිසිවකටත් මේ පනතින් විසඳුම් නැහැ. නමුත් මේ පනතට පක්ෂව කරුණු දක්වන අය ඒ ගැන කියන්නේ කිසිදු පදනමකින් තොරවයි. විශ්වවිද්‍යාලයක් තුළ ශාස්ත්‍රීය නිදහස ස්ථාපිත විය යුතුයි. අලුත් දැනුම නිර්මාණය විය හැකි වාතාවරණයක් එය තුළ ආරක්ෂා විය යුතුයි. දැනට පවතින විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. උපකුලපතිවරුන් පත්කිරීමට ආචාර්යවරුන් මැදිහත් වෙනවා. පාලක සභාවට විශ්වවිද්‍යාලයට බාහිර පිරිසද ඇතුළත් විය හැකි පරිදි ප්‍රජාතාන්ත්‍රික කිරීමට අදාළව නෛතික ව්‍යුහයන් තිබෙනවා.
ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවන බවට යමෙකුට තර්ක කළ හැකියි. එහෙත් ඒවා වෙනස් විය යුත්තේ ශාස්ත්‍රීය නිදහස හා ප්රජාතන්ත්රවාදය පුළුල් වන ආකාරයට මිස හැකිළෙන ආකාරයට නොවේ. මිලිටරි ව්‍යුහයක් තුළින් උසස් අධ්‍යාපනය ලබාදීමට උත්සාහ ගැනීමම වැරදියි. දැන් පනත කල්දමා තිබීම තාවකාලික තත්වයක්. එය මුළුමනින්ම අහෝසි කළ යුතුව තිබෙනවා. එය මුළුමනින්ම පරාජය කිරීම වෙනුවෙන් අරගලයක් කළ යුතුව තිබෙනවා. මේ වනවිට රටේ අධ්‍යාපනයේ සමස්තයම අර්බුදයට ගොස් තිබෙනවා. විශ්වවිද්‍යාල. පාසල් සියල්ල අර්බුදයට ලක්වී තිබෙනවා. එය විසඳාගැනීම වෙනුවෙන් දැවැන්ත අරගලයක් අප ඉදිරිපිට තිබෙනවා. ආචාර්යවරුන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට, රටේ ප්රගතිශීලී ජනතාවට අප සියලු දෙනාට එකතු වීමට බලකෙරී තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පෙරට එන මෙන් සියලු දෙනාට ආරාධනා කරනවා” යනුවෙන් සඳහන් කළාය.
(නවෝද්‍යා පවනි)
0 Comments