kalubowila-covid19-deaths

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) කොවිඩ් රෝගීන් 5ත් 7ත් අතර සංඛ්‍යාවක් දිනපතා මිය යන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය මහත්මිය පැවසුවාය.මේ අතර රෝහලට ඇතුළත් කෙරෙන කොවිඩ් රෝගීන් වෛද්‍ය පරික්ෂණවලින් පසුව නිවෙස්වලට යොමුකිරීමේ වැඩපිළිවෙළක් පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කර ඇති බවද පවතින තත්වය හේතුවෙන් සාමාන්‍ය ශල්‍යකර්ම නවතා ඇතත් හදිසි ශල්‍යකර්ම දිගටම කරගෙන යන බවද ඇය පැවසුවාය. 



රෝහලට එන කොවිඩ් රෝගීන්ගෙන් සියයට 60 ක් පමණ එන්නත් මාත්‍රා දෙකම නොගත් අය බවත් සියයට 40ක් පමණ එක් මාත්‍රාවක් පමණක් ගත් අය බවත්, කිරිවන්දෙණිය මහත්මිය කීවාය. එන්නත් ලබා ගත් අයගෙන් රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වන්නේ ඉතාම අඩු වශයෙන් බව පැවසූ කිරිවන්දෙණිය මහත්මිය රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගෙන් සියයට 24ක් පමණ ඔක්සිජන් අවශ්‍ය අය බවද සඳහන් කළාය.  රෝහලට පසුගිය කාලයේදී ඇතුළත් කෙරුණු රෝගීන් බොහෝ දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනුණු බවත්, කළුබෝවිල රෝහලේ වාට්ටු තිස් හතරෙන් වාට්ටු හයක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් අධ්‍යක්ෂවරිය කීවාය.


 -සුජිත් හේවාජුලිගේ -