කළුබෝවිල රෝහලේ කොවිඩ් මළ සිරුරු තැනින් තැන දමා ඇති බව පවසමින් විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරී පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.





“මළමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද”? යනුවෙන් සටහන් කර මෙම ඡායාරූප ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණි.

පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක අයෙකු බවද අනාවරණය විය.

නිරෝධායන පනත , ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ ඔහුට චෝදනා ගොනු කිරීමට නියමිත අතර සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙයි.

කෙසේ වෙතත් මෙම ඡායාරූප නොවන කළුබෝවිල රෝහලේ සත්‍ය තත්වය දැක්වෙන වෙනත් ඡායාරූපද පසුගිය කාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ අතර ලෙඩුන් එලිමහන් ස්ථානවල ගාල්කර තිබෙන හා ඇතැම් වාට්ටුවල සීමාව ඉක්මවායාම නිසා ඇඳන් යට හා කොරිඩෝර වල ලෙඩුන් සිටින ඡායාරූපද හුවමාරු විය.
එවැනි ඡායාරූප නිසා රාජ්‍ය ඇමති පවා කළුබෝවිල රෝහලේ සංචාරයකට ගොස් ඒ ගැන සොයා බලන්නට උනන්දු විය.