"අධ්‍යාපනය රැක ගැනීම උදෙසා කලාකරුවෝ" තේමාවෙන් ඊයේ (2දා) කොළඹදී පැවැති පළමු
මාධ්‍ය හමුවේදී ඊට එක්වූ සියලුම කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ප්‍රබල විරෝධය පළ කළ
අතර එහිදී ඔවුහු මෙසේ අදහස් දැක්වූහ.
සිනමාවේදී කථිකාචාර්ය විසාකේස චන්ද්‍රසේකරන්
මේ පනත හරහා රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශාල වෙනස්කම් ගණනාවක් සිදුවෙනවා. සිවිල් පුරවැසියන්ට මිලිටරිකරණ අධ්‍යාපනයක් ලැබෙනවා වගේම
විෂය භාර ඇමැතිට විශාල බලතල ප්‍රමාණයක් හිමි වෙනවා. අධ්‍යාපනයට සම්බන්ධ වෙළෙඳ
ආයතනවලට, විශ්වවිද්‍යාලවලට, වෙළෙන්දන්ට මෙයින් ලාභ ලබා ගන්න හැකි වෙනවා. දැනට ලංකාවේ
විශ්වවිද්‍යාල ස්වාධීනව නියාමනය කෙරෙන UGC එක ඉක්මවා කටයුතු සිදුවෙනවා. බැරි වෙලාවත් මේ
පනත සම්මත වුණොත් අපි ආචාර්යවරු හැටියට විඳින නිදහස පවා නැති වෙනවා. අප බිහිවී තිබෙන්නේ
ස්වාධීන අදහස් ඉදිරිපත් කරන්න, නිදහසේ කතා කරන්න හිතන්න පුළුවන් යම් තරමක් හෝ නිදහස්
අධ්‍යාපනයක් අපිට තිබූ නිසා. උසස් කලා නිර්මාණ රසවිඳින්න හැකි ප්‍රේක්‍ෂකයෝ, නිදහස්
මාධ්‍යවේදීන් මෙය සම්මත වුණොත් බිහිවෙන්නේ නෑ.
අපි කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධයි. සිවිල් හා මිලිටරි අධ්‍යාපනය වෙන්වෙන්ව පැවැතිය
යුතුයි. මීට එරෙහිව විශාල රැල්ලක් මේ වන විටත් ගොඩනැඟී තිබෙනවා.
ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ
- බොහෝ උතුම් අරමුණු, දර්ශනයන් පසුකාලීනව විකෘති වන නිසා
අපි අධ්‍යාපනය, එහි පරමාර්ථය ගැන කතා කළ යුතුයි, පෙරමුණ ගත යුතුයි. ලංකාවේ අධ්‍යාපනය
රැකියාව සඳහා සිසුන් මාට්ටු කරන කම්හලක් බවට පත්වෙලා. මේ අධ්‍යාපනයේ වරදක් තියෙනවා. ඒක
සෝමලතා සුබසිංහ මහත්මියගේ විකෘති නාට්‍යයෙන් පැහැදිලිව කියවෙනවා. ස්වාධීන හා ධනාත්මක ලෙස
නාට්‍ය නිර්මාණය කිරීම හමුදා මඬුල්ලකින් කළ හැකි දෙයක් නොවේ. 21 වැනි සියවසට ගැළපෙන
ආකාරයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.
තවදුරටත් වන පොත් කිරීම අවශ්‍ය නෑ. තමන් අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඕනෑම දෙයක්
සොයා බැලිය හැකියි. මේ පනතේ කිසිදු කරුණක් 21 වැනි සියවසට ගැළපෙන ලෙස ඉටු වන්නේ නෑ.
පුරවැසියෙක් ලෙස මා ඊට විරුද්ධ වන්නේ ඒ නිසා.
ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම
- විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැටියට නිදහස් අධ්‍යාපනයට අත නොතබනු
කියලා බෝඩ් කෑලි අපි උස්සාගෙන හිටියේ මීට අවුරුදු 40කට 50කට පෙර. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර
නිදහස් අධ්‍යාපනයෙන් අදහස් කළේ නැති බැරි සැමට නොමිලේ අධ්‍යාපනය ලබාදීම. ඒ ප්‍රාථමික හා
ද්විතීයික අධ්‍යාපනය. එයින් ගමේ ගොඩේ අපි වගේ වෙල් ඉපනැල්ලේ දුව පැනපු අයටත් උසස්
අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබුණා. අපි විශ්වවිද්‍යාලයේ ඉද්දී තමයි අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව
ආවේ. විවිධ කාලවලට විවිධ යෝජනා ආවා. කොතලාවල පනතට අද අපි විරුද්ධයි. විපක්‍ෂයත් විරුද්ධයි.
මේක යහපාලන කාලේ (2018) ගෙනාවේ. එදා පාලන බලයේ අයගේ යෝජනාවට එදා විපක්‍ෂය
විරුද්ධයි. මෙදා විපක්‍ෂයත් විරුද්ධයි. මේ මහජන නියෝජිතවරු පාර්ලිමේන්තුවට පත් කරන්නෙත් ජනතාව.
මේක ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස විවෘත වනවා නම් එහි ලාභ ලබන ආකාරයත් පැහැදිලිව
තිබෙනවා. රජයේ භාණ්ඩාගාර ලේකම්ට පාර්ලිමේන්තු අනුමැතිය ඇතිව වාර්ෂිකව ප්‍රදානයන් පිරිනමන්න
හැකි බව සඳහන් වෙනවා. රජයේ ප්‍රදානයන් කියන්නේ අපේ බදු මුදල්. පාලක සභාවේ 9න් 5ක් හමුදා
නිලධාරීන්. මේ හරහා සිසුන්ට දේශකයන්ගෙන් ප්‍රශ්න අහන්නවත් බෑ. "මේක කෙවිටක් අරන් කරන
හික්මවීමක් කරනවා වගේ." පාලනයක් සහිත අධ්‍යාපනයක් ලබාදීම මේ විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ VGC
නියාමනයට යටත්ව නොවන නිසා එන උපාධියේ ප්‍රමිතිය ගැන සහතිකයක් දෙන්න බෑ. මම මීට විරුද්ධව
ජාතික මට්ටමින්.
ප්‍රවීණ රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා
- නිදහස් අධ්‍යාපනය ගැනවත් අධ්‍යාපනයේ නිදහස ගැනවත්
මේ පාලකයන්ට කිසිම අවබෝධයක් නෑ. දැනටමත් අධ්‍යාපනයේ නිදහස පිළිබඳව රටේ පවතින පසුගාමී
තලය අපි දන්නවා. අපි නිර්මාණකරුවන් විදියට චින්තනමය නිදහස ගැන කතා කළ යුතුයි. අපි මේ
පාලකයන්ට කියන්නේ රටේ අධ්‍යාපනය ගැන අත්තනෝමතික තීරණවලට එන්න එපා. දරුවාගේ ස්වාධීනත්වය
රකින්න. මේ අතිශය භයානක පනතට විරුද්ධ වෙන්න කියලා රටේ සබුද්ධික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රවීණ ලේඛක: සුනිල් විජේසිරිවර්ධන
- දැනටත් යම් තරමකින් සමාජයේ මිලිටරිකරණයක් පවතිනවා.
මිලිටරිකරණය යනු බූවල්ලාගේ අඬුපඬු විහිදෙමින් පවතිනවා ආර්ථික, සමාජයීය වශයෙන්. මේක තීරණාත්මක
මොහොතක්. ඉදිරියේ ගැඹුරු මිලිටරිකරණයකට යන මාර්ගයක් මේ සැකසෙමින් පවතින්නේ. සම්පූර්ණයෙන්ම
"එහෙයි," කියන චින්තනයක් පමණයි මේ පනතින් බිහිවෙන්නේ. ලෝකයේ දියුණු සමාජයක් යන්නෙ මොන
පැත්තටද කියලා අපිට බලාගන්න පුළුවන්. ලෝකයේ යුද පද්ධතියක් තියෙනවා. ඒ තුළ තමයි යුද කර්මාන්තය
තියෙන්නේ. මහා රාක්‍ෂයෙක් වගේ දැවැන්තයි. දැනට රටවල් 27ක් තියෙනවා මේ වන විට හමුදාව
නැති. රටවල් 48ක් තියෙනවා හෘද සාක්‍ෂිය නෛතිකව පිළිගන්න රටවල්. මිලිටරිහරණ ක්‍රියාදාමයට
ලෝකෙ රටවල් යද්දී අපි යන්නේ කොහෙටද කියලා සොයා බැලිය යුතුයි. බෞද්ධ සමාජයක අවශ්‍ය විනය
මිලිටරිකරණය හරහා සෑදිය නොහැකිය. එය බෞද්ධ විරෝධී ක්‍රියාවක්. නිදහස් චින්තනය නැතිව බුදු වෙන්න
බෑ. සිද්ධාර්ථ ගෞතම කිසිම විටෙක කලහකාරි වුණේ නෑ. කීකරු බව හා කලහකාරි කියන දෙක තුළ විශාල
වෙනසක් තියෙනවා. නිදහස් චින්තනය තිබූ නිසා තමයි සිද්ධාර්ථ බුද්ධත්වයට පත්වුණේ. කෙවිටෙන් පාලනය
කරලා අධ්‍යාපනය දෙන්න බෑ.
ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ
- මේ අවුරුද්ද තීරණාත්මක අවුරුද්දක්. අධ්‍යාපනයේ නිදහස සාරාර්ථය
ගැන කතා කළ යුතු මොහොතක්. එදා නිදහස් අධ්‍යාපනය තුළ රාජ්‍ය අංශයෙන් පරිබාහිරව සිතන්නට,
කතා කරන්නට නිදහස තිබුණා. අවුරුදු 100ක් තුළ අපි අත්කරගත් ස්වදේශික අධ්‍යාපන පද්ධතිය ගැන අපිට
තර්ක තිබෙන්නට පුළුවන්. මේ පනතේ ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා මිලිටරිකරණය. ඇමැතිට පවරන
අසීමිත බලය. ඥාන ගවේෂණය වෙනුවට ගොඩනැඟිලි හදන අය, එහෙම නැත්නම් අනාගත ඡන්දදායකයන්
පමණක් මින් ගොඩනැඟෙයි. පාලක මණ්ඩල සංයුතිය ගත්තත් මිලිටරිකරණය පැහැදිලියි. නිර්වින්දිත යටත්
වැසියන් බිහිවීම පමණක් මේ තුළ තිබෙනවා. එය බරපතළයි. මෙය මේ මත අනෙකුත් විශ්වවිද්‍යාලවලට නිල
වශයෙන් අනුකූල විය හැකියි.
ප්‍රවීණ රංගන ශිල්පිනි බාහිර කථිකාචාර්ය කෞශල්‍යා ප්‍රනාන්දු
- මට සුන්දර මතකයන් ද තිබෙන්නේ
මගෙ මවුපියන්. මගේ මව, පියා, විශ්වවිද්‍යාල ගුරුවරුන්. ඔවුන් විශ්වවිද්‍යාලවල ගත කළ නිදහස් චින්තන
සහිත විචාරශීලී පරිසරයකයි අධ්‍යාපනය ලැබුවේ. ඉගැන්නුවේ. එවැනි පරිසරයක් තුළ නිර්මාණය වූ මගේ
පියා පරිපාලන නිලධාරියෙක්. ඔහු වැඩ කළ හැම ආයතනයකම ඔහු සාර්ථක නිලධාරියෙක්. එවකට
දේශපාලනඥයෝ, පරිපාලකයෝ කියන දේට ඇහුම්කන් දුන්න. අද පරිපාලකයෝ දේශපාලනඥයන්ට එහෙයි කියන
අය විය යුතු වෙලා. පවුලක් ගත්තොත් ඒ ඒ අය විවිධාකාර විය යුතුයි. නැත්නම් විවිධ චරිත බිහිවෙන්නේ
නෑ. එහෙම හිටියොත් අශෝක හඳගමගේ, ප්‍රසන්න විතානලාගේ චිත්‍රපට එකම ශෛලියක් වෙයි. සමාජයත්
විවිධ විය යුතුයි. විචාරශීලී බව, නිදහස තිබිය යුතුයි. එය තමයි දියුණු සමාජයක් ලෙස හඳුන්වන්නේ. යුද
හමුදාවට විශ්වවිද්‍යාල තිබිය යුතුයි. ඒකට අපි විරුද්ධ නෑ. නමුත් කොකිස් අච්චුව වගේ එකම පාටක්,
එකම හැඩයක් වෙයි මේ ගේන්න හදන පනත හරහා. විශාල භූමියක් විශ්වවිද්‍යාලයකට දෙන්නේ
අධ්‍යාපනයේ නිදහස අත්විඳිමින් ඉගෙන ගන්න.
රංගන ශිල්පි ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි
- මේ කොතලාවල පනත හරහා අපේ අනාගත පරම්පරාවලට සිදුවන ඛේදවාචකය අද වෙද්දී විවිධ මානයෙන් කතා කරනවා. කවුරුන් හෝ දෙන අණකට
අපේ ජීවිතය හසුරුවන්න වෙන එක හොඳ දෙයක් නෙමේ. අධ්‍යාපනය ගැන අපි අවුරුදු ගාණක් කතා
කරනවා. දැන් මේක බෙල්ල මුලටම ඇවිත් කොයි වෙලේ හිර කරයිද දන්නේ නෑ. දේශපාලන පක්‍ෂ පාට
කොහොම තිබුණත් අපි මිලිටරිකරණයට විරුද්ධයි.
ප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඬවල
- නිදහස් සෞඛ්‍යට වෙලා තියෙන දේ අද ඉතා පැහැදිලියි. ඒවගේම නිදහස් අධ්‍යාපනයට මොකද වෙන්නේ. මේ පනත සම්මත වුණොත්? කවුරු හරි මවුපියකුට තමන්ගේ
දරුවා කීකරු දරුවෙක් හදාගන්න ඕනෑ නම් මේ කොතලාවල විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන්. මොකද එවිට
"හිටු" කිව්වොත් ඉන්න, "පල" කිව්වොත් දුවන අය බිහිවෙයි. හැබැයි මේ මිලිටරිකරණ අධ්‍යාපනය පොදු
අධ්‍යාපනයක් බවට පත් කරන්නේ ඇයි?
රංගන ශිල්පි කථිකාචාර්ය තුසිත ලක්නාත්
- අපිට නිදහස් අධ්‍යාපනය තිබුණට හරි ඵල ප්‍රයෝජන
ගන්නවාද කියලා ගැටලුවක් තියෙනවා. නමුත් එය වෙනස් කළ යුත්තේ අධ්‍යාපනය මිලිටරිකරණය කරලා
නෙවෙයි. මේ "එහෙයියන්" බිහි කරන ක්‍රමයක්. අපි ගුරුවරු එක්ක තර්ක කරනවා. ඒ සංවාදශීලී
විචාරශීලී බවින් තමයි අලුත් දැනුමක් එකතු කරගන්න පුළුවන් වෙන්නේ.
(අනුරාධා හේරත් )
0 Comments