kurunegala-incident

කුරුණෑගල නගරයේ ප‍්‍රධාන මාර්ගයක් අසල වැටී සිටි තරුණයකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූ බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ ඊයේ (19) පැන ගොස් ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් කියයි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

අධික ලෙස මත් කුඩු පානයට ඇබ්බැහිව සිටින්නකු බව කියන මෙම තරුණයා ඊයේ (19) උදෑසන කුරුණෑගල විල්ගොඩ මාර්ගයේ ගසක් යට වැටී සිටින ප්‍රදේශවාසීන් දැක ඇත.

හමුවන විටත් බිම වැතිරී සිටි ඔහුගේ මුහුණ ඇතුළු සිරුර පුරා කුහුඹුවන් සහ මැස්සන් පිරී සිටි බැවින් මේ දිනවල පවතින තත්වය අනුව මොහු කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්ව මහ මඟ වැටී සිටි අයකු බවට නිගමනය කර ඇත.
ඒ නිසාම මොහුට ආසන්න වීමට කිසිවකුත් උත්සාහ දරා නැති අතර පසුව පොලීසිය ඒ අසල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් සමග එක්ව එම තරුණයා ගිලන් රථයක දමා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවීමට පියවර ගත්හ.රෝහලට රැගෙන ගොස් මඳ වේලාවකට පසුව මරණයට පත්ව ඇති බවට සැක කළ තරුණයාට සිහිය ලැබී ඉන් ස්වල්ප වේලාවකට පසුව ඔහු හොර රහසේම රෝහලෙන් පලා ගොස් ඇති බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.මෙම සිද්ධියේ සැබෑ තතු අනාවරණය වීමට පෙර කොරෝනා ආසාදිත තරුණයකු මහ මග වැටී මියගොස් ඇති බවට සඳහන් පුවතක් ඉතා උණුසුම් ලෙස කුරුණෑගල නගරය පුරා පැතිර ගොස් තිබුණි.

(පුෂ්පකුමාර ජයරත්න)