lady-ridgway-covid19-kids

කොවිඩ් ආසාදනය වීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.  රිජ්වේ ළමා රෝහලට මීට සතියකට පමණ පෙර ඇතුළත් කරනු ලැබ සිටියේ කොවිඩ් ආසාදනය වූ දරුවන් තිස් දෙනකු පමණකැයිද හෙතෙම සඳහන් කළේය. දරුවන්ට කොවිඩ් ආසාදනයවීම වැඩිවෙමින් තිබෙන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවැසු විශේෂඥ  වෛද්‍යවරයා මවුපියන් මේ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු බවද කීවේය.



දරුවන් එනකරණයට ලක් නොවන පිරිසක් හෙයින් කොවිඩ් වැළඳීමෙන් ඒ  අයට බරපතළ සංකූලතා මතුවිය හැකි බවත්, කොවිඩ් වැළදෙන දරුවන් අතරේ බහු ඉන්ද්‍රීය ආසාදනය නමැති රෝගයක්ද මේ දිනවල පැතිර යමින් තිබෙන බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. දරුවන්ට කොවිඩ් වැළඳීම වැඩිවන ප්‍රවණතාවක් මතු වී ඇත්තේ විශේෂයෙන්ම මේ දිනවල පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය නිසා විය හැකි යැයිද හෙතෙම සඳහන් කළේය.

දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටියන් වයිරසය බාහිර සමාජයේ සිට නිවෙසට නොගෙන ඒමට වගබලා ගතයුතු බවද, දරුවන් බාහිර සමාජය සමග මුහුවීමද හැකිතාක් දුරට වළක්වා ගත යුතු බවත්  හෙතෙම පැවැසුවේය. කොවිඩ් ආසාදනයවූ දරුවන් දස දෙනකු පමණ මේ වනවිට   මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල්  පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

 -සුජිත් හේවාජුලිගේ -