marapana-gem

කෝවිඩ් 19 වසංගතය මැඩලීමට පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය හමුවේ රත්නපුර මාරපන ප්‍රදේශයේදී වේ ගගේ අනවසර පතල් දමා ගග දෙපස ඉවුරුවලට හානි කරමින් මැණික් කැණීම් කරන බවට ගග දෙපස පදිංචිකරුවෝ චෝදනා කරති.ගග හරහා ලී වැටි බැද ඇති අතර ඉවුරු හාරමින් රාත්‍රී කාලයට සිය ගණනක පිරිසක් මෙම ක්‍රියාවේ නිරතව සිටින බව ද කියති. 

සමහරු දිවා කාලයේද බියක් සැකක් නැතිව මේ ක්‍රියාවේ නිරතව සිටිති. රත්නපුර නිවිතිගල පාරේ මාරපන මඩ හන්දියෙන් පහළට යන විට හමුවන වේ ගගේ පාලමෙන් පහළ ප්‍රදේශයේ මෙම අනවසර මැණික් ගැරීම් බහුලව සිදු වන බව ද ඔවුහු කියති.පාලමට පහළ ගං ඉවුරු දෙකේ පිහිටි ගොඩනැගිලි ද අවදානමට ලක්ව ඇති බව ගග දෙපස වැසියෝ කියති. ඉවුරු හැරීම නිසා වැසි සමයේදී ගගේ මටම ඉහළ යාමත් සමග ඉවුරු කඩා වැටීමේ ඉඩකඩක් ඇති බව ද කියති.

ඇතැම් පතල් ස්ථානවලට රාත්‍රී කාලයේ අනවසරයෙන් විදුලිය ද ලබාගෙන ඇති බවද පවසති.මේ අනවසරපතල සඳහා දේශපාලනඥයන් සමග සමීප සම්බන්ධකම් පවත්වන ආධාරකරුවන්ගේ සහාය ලැබී ඇති බව ද, ප්‍රදේශවාසීහු පවසති.පවත්නා ඇදිරිනීතිය නිසා පොලීසියට ද රාජකාරී බහුලවීම නිසා එහි වාසිය මෙම අනවසර මැණික් ගරන්නන් විසින් ලබා ගන්නා බව ද ඇතැම්හු කියති.

තවත් අයවලුන් පවසන්නේ පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගේ ද අනුමැතිය ඇතිව මෙම අනවසර මැණික් කැණීම් සිදුවන බවයි. රත්නපුර නගරයට තරමක් ආසන්න වුවද මෙම ප්‍රදේශය පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයට අයත් වෙයි. ගල්ඉන්න ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ මෙම අනවසර මැණික් කැණීම බහුලව සිදුවන බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මාරපන මඩ හන්දියේ සිට වේ ගගේ පහළට බටුගෙදර ආසන්නයට එන තෙක් මෙම අනවසර පතල් ඇති බව ද ප්‍රදේශවාසීහු කියති. ගග අද්දර ඇතැම් ඉඩම් හිමියන්ද ඊට සහයෝගය දෙන බවද අවට වැසියෝ පවසති.ඇදිරිනීතිය නිසා කාර්යාලය වසා දමා ඇති නිසා රාජ්‍ය මැණික්හා ස්වර්ණාභරණ අධිකාරි කාර්යාලයෙන් මේ පිළිබද විමසීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. පොලීසියේ සහාය ඇති බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පොලීසිය පැවසුවේය. පැමිණිලි ලැබීමෙන් පසු රාත්‍රී කාලයේ වැටලීම් කරන බව ද පොලීසිය පවසා සිටියේය.

(අජිත්ලාල් ශාන්තඋදය)