රටේ පවතින 'කොවිඩ්' රැල්ල පාලනය කිරීමෙන් පසුව නැවත රට පුරා යකා නැටීමෙන් වැළකී සෞඛ්‍ය සේවකයන්ට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙස සියලුම වෘත්තීය සමිති නායකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.   ජාතික රෝහලේ වාට්ටු 10කට අධික සංඛ්‍යාවක් සහ දැඩි සත්කාර ඒකක හතරක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බව  කී වෛද්‍ය නලින්ද හේරත් මහතා ඒ සියලුම ඒකකවල ඇඳන් මේ වනවිට පිරි, ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඉතා විශාල සංඛ්‍යාවක් එහි සිටින බව ද සඳහන් කළේය.


කොළඹදී පෙරේදා (24) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය නලින්ද හේරත් මහතා එලේස පැවසීය. 

එහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ  සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, වර්තමානයේ පවතින ‘කොවිඩ්' රැල්ලට වඩා විශාල, පස්වැනි කොවිඩ්' රැල්ලක් ඒමේ අවදානම කිසිසේත්ම බැහැර කළ නොහැකි බව කීවේය.  ප්‍රභේද වෙනස්වීමේ ක්‍රියාවලිය මීට වඩා  දරුණු වී සැප්තැම්බර් මස මීට වඩා මරණ  වාර්තාවිය හැකි බව කී වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු, එම ප්‍රභේද එන්නත්වලට දක්වන ප්‍රතිරෝධය මීට වඩා දරුණු විය හැකි බව ද සඳහන් කළේය. මෙම පළමු එන්නත් මාත්‍රා කෝටිය නිවැරැදිව දී තිබුණේ නම් මරණවලින් සියයට 80ක් වළක්වාගන්නට තිබූ බව ද ඔහු කීව්වේය.


 -යොහාන් භාසුර-