ඔලිම්පික් උළෙලට කියා රටින් පිටවී යන නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශීය තරගාවලි සදහා සහභාගි වන්නේ විනෝද සවාරියක් යන ලෙසින් බවත්, ඔවුන්ගේ හොදම පෞද්ගලික දක්ෂතාව හෝ දැක්විය නොහැක්කේ ඒ නිසා බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. මෙවර ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාව (නිමාලි ලියනාරච්චි) ටෝකියෝ නුවර බලා ගියේ ඇයගේ ඇණ සපත්තු දෙක ගෙදර තියා බවත් ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ඊයේ (5 වැනිදා) පැවසිය. ක්‍රීඩා ඇමතිවරයා ඒ බව හෙළිදරව් කළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
“අපට තියෙන බරපතළම ප්රශ්නය තමයි පුහුණුකරුවෝ" “ අපේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් යනවා ස්පයික්ස් ඇණ සපත්තු දෙක ලංකාවෙ දාලා. ඒත් ක්‍රීඩා ඇමතිවරයාටවත් අමාත්‍යාංශයටවත් ළමයට කියන්න බෑ සපත්තු දෙක අරන් යන්න කියලා. ළමයා ජයග්රාහි මානසිකත්වයක ඉන්න ඕනේ සපත්තු දෙක අරන් යන්න නම්.
“අද වෙලා තියෙන්නේ ගරු කතානායක තුමනි, මේ මුල ඉඳන් කැඩිච්ච විනය නිසා, ඔලිම්පික් යන්නෙත් සපත්තු දෙක ලංකාවෙ තියලා.
එවැනි තත්වයක් අද උදාවෙලා තියෙන්නේ” යැයිද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මලල ක්‍රීඩා ක්ෂේත්රයෙන් කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ මලල ක්‍රීඩිකාව සිය ඇණ සපත්තු යුගලය ගෙදර තියා ගොස් ඇත්තේ ජපානයේදී අලුත් ඇණ සපත්තු යුගළක් මිලදී ගැනීමේ අදහස ඇතිව බවයි. කෙසේ වෙතත් තරගයට පෙර, ජපානයේදී ඇයට අලුත්ම ඇණ සපත්තු යුගළක් මිලදී ගෙනදීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. මෙම තත්වය ඇතිවී ඇත්තේ පුහුණුකරුවන්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය නිසා බවත් පැවසූ ක්‍රීඩා ඇමතිවරයා, ඔලිම්පික් ක්‍රීඩාවෙන් පදක්කමක් දිනාගැනීමට නම් වසර 15 ක් වත් දුරට ක්‍රියාත්මක වන සැලසුම් සකස් කළ යුතු බවත් වැඩිදුරටත් පැවසිය. වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ ඉලක්කය වී ඇත්තේ 2032 ඔලිම්පික් උළෙලයි.
“පසුගිය වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරවනු ලබන්නේ ජාතික මට්ටම් ජයග්‍රහණ සඳහා පමණයි. ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන්න මනසක් නෑ ගරු කතානායකතුමනි... ජාතික ජයග්‍රහණවලට පමණක් ක්‍රීඩකයන්ගේ මනස හදලා. ජාත්‍යන්තරයට යන්න බෑ." "සමහර ක්‍රීඩකයෝ..., ඔක්කොම නෙමෙයි.... යන්නේ ට්‍රිප් එකක් (විනෝද සවාරියක්). ඒක නිසා තමයි තමන්ගේ හොඳම දක්ෂතාවවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දක්වන්න ඔවුන්ට බැරි. ඒ හින්දා පැහැදිළිව මේ ක්‍රීඩකයාගේ මානසිකත්වය දියුණු කරන්න, පුහුණුකරුවන් දියුණු කරන්න, අවශ්‍ය වැඩපිළිවෙළ අපි කරගෙන යනවා" යයි ද ඇමතිවරයා පැවසීය. ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් සිටින්නේ තිදෙනකු පමණක් බව පැවසූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනෙක් සියලු දෙනා පංගු ක්‍රමය අනුව (වයිල්ඩ් කාඩ්) ඔලිම්පික් වරම් ලබාගත් අය බවද පැවසීය.
“ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් හරි ඔලිම්පික් යන්න නම්, ඔලිම්පික් පරිසාධන මට්ටමට එන්න ඕන. අපේ කණ්ඩායමේ ඉන්නේ 3 දෙනයි. ඒ තුන් දෙනා තමයි නියමිත පරිසාධන මට්ටම ඉක්මවලා ඔලිම්පික් ගියේ. මැටිල්ඩා කාසන්, යුපුන් අබේකෝන් සහ ජිම්නාස්ටික් ක්‍රීඩා කරපු මිල්කා (ගෙහානි ද සිල්වා). අනෙක් සියලු දෙනාම වයිල්කාඩ් වලින් තේරිච්ච අය" යයිද ක්‍රීඩා ඇමතිවරයා කීවේය. ඔලිම්පික් ගිය ක්‍රීඩකයන්ගේ ඇඳුම පිළිබද සමාජ කතිකාවක් ඇතිවී ඇති බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිල ඇඳුම අඩුම තරමින් ජාතික ධජය තිබෙන එකක්වත් විය යුතු බවත් හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැවසිය. ඊට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමතිවරයා කීවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම නිසි පරිදි ඉටුකර ඇති බවයි.
“අපි ඔලිම්පික් ගිය අය වෙනුවෙන් ලොකු මුදලක් වෙන්කළා. පළමු වතාවට පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයන්ට ලක්ෂ 30 කුත් වයිල්ඩ් කාඩ් ක්‍රීඩකයන්ට ලක්ෂ 20කුත් ලබා දුන්නා. ලංකාවේ දවස් 7ක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නිරෝධායනය කළා".
“නිල ඇඳුම්" පිළිබඳ ඔලිම්පික් කමිටුවයි කටයුතු කළේ. ඒ ගැන ඒගොල්ලන් වගකියන්න ඕනේ. ඒ පිළිබඳ වාර්තාවක් ඉල්ලා තිබෙනවා. ඇතැම් ක්‍රීඩකයන් සුපුරුදු ඇඳුම අදින්න ඉල්ලා තිබුණා කියලාත් තිබෙනවා. කෙසේ වෙතත් මේ වගේ තත්වයක් ඇති වෙන්න දෙන්න බෑ. අපි ඒ ගැන වාර්තාවක් කැඳවා තිබෙනවා" යයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු විනය මාලාවක් සකස් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීවේය. ජයග්‍රාහී මානසිකත්වයට ක්‍රීඩකයාව ගේන්නත්, ජයග්‍රහණ වලට යන්නත්, කෙටි කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක වන බවත්, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරිම සම්බන්ධයෙනුත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමතිවරයා...
“2024 හා 2028 වසර ඉලක්ක කරලා පිටරට පුහුණුවීම් කරනවා. සුගතදාස ක්‍රීඩාංගණයේ විතරයි සිත්තටික් මංතීරු තිබුණේ. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ කාලයේ දියගම ක්‍රීඩාපිටිය හැදුවා. මේ වනවිට ටොරින්ටන් හා කුරුණෑගල මංතීරු 6 ක මීටර 400 සින්තටික් ධාවන පථ ඉදිකරනවා" සුගතදාස ක්‍රීඩාංගණය කියන්නේ තව එක ක්‍රීඩාංගණයක් විතරයි. අපේ සැලැස්ම අනුව එවැනි පහසුකම් තියෙන ක්‍රීඩාංගණ රටපුරා ඉදිවෙනවා..." “ඒ වගේම ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණයෙත් තව අඩුපාඩු කිහිපයක් තියෙනවා. ඒත් මේ මාසෙ අන්තිමට අපි ඒක විවෘත කරනවා. අපි හරින් ප්‍රනාන්දු ඇමතිතුමාටත් ඒකට ආරාධනා කරනවා. ඒක එතුමා ආරම්භ කරේ.” යයිද පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.
බන්දුල අත්තනායක
0 Comments