navy-medical-student-arrested

කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියක ලෙස සිටිය දී එහි 2015 වසරේ පැවැත් වූ වෛද්‍ය විද්‍යා  විභාගයෙන් සමත් බවට ව්‍යාජ විභාග ප්‍රතිඵල  සහතිකයක් නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කළ 28 හැවිරිදි නාවික හමුදාවේ හිටපු නිලධාරිනියක  පසුගිය සිකුරාදා ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය කියයි. මෙම තරුණිය 2012 වසරේ නාවික හමුදාවට බැඳී සේවය කරමින් සිටිය දී නාවික හමුදාව යටතේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයට 2012 වසරේ දී ඇතුළත්ව ඇති අතර 

ඇය 2015 වසරේ වෛද්‍ය පීඨයේ පවත්වන ලද දෙවැනි වෛද්‍ය විභාගයෙන් අසමත්වී ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.  නාවික හමුදාව මෙම තරුණියගේ නිලය උසස් කිරීමට වර්ෂ 2018 වසරේ දී වෛද්‍ය පීඨයෙන් තොරතුරු විමසූ අවස්ථාවේ දෙවැනි වෛද්‍ය විද්‍යා විභාගය අසමත් බවට හෙළිවී ඇතැයි පොලිසියට කියයි.

කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා එම විභාගය සමත් බවට ව්‍යාජ විභාග ප්‍රතිඵල ලේඛනයක් නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කර තිබූ බවට හෙළිවී ඇතැයි පොලිසිය  කියයි. තොරතුරු හෙළිවීමත් සමග 2018 වසරේදී මෙම තරුණිය වෛද්‍ය පීඨයෙන් සහ නාවික හමුදා සේවයෙන් ඉවත් කොට 2018 වසරේ දී වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේඛකාධිකාරිවරිය මේ සම්බන්ධව ගාල්ල මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර දෙකහමාරකට අධික කාලයක් තිස්සේ විමර්ශන කටයුතු සිදුකර ඇති අතර ඇය පසුගිය සිකුරාදා ගාල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  මේ සම්බන්ධයෙන් නාවික හමුදාව ද වෙනම පරික්ෂණයක් සිදු කරන බව පොලිසිය කියයි.

මෙම තරුණිය මාතර පාලටුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය කියයි.

සැකකාරිය නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කරන ලද විභාග ප්‍රතිඵල ලේඛනය පොලිසිය විසින් අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලද අතර රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර ඇත්තේ එහි අත්සන් වෛද්‍ය පීඨයේ පීඨාධිපතින්ගේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියගේ නොවන බවය. ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ පොලිස් පරීක ජයසිරි ගමගේ, උප පොලිස් පරික්ෂකවරුන් වන උදය කාන්ත යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.  සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.


 -ඩී.පී.සුගතපාල-