නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව සහ නුවරඑළිය තුරඟ තරග පිටිය අසල සංචාරකයන් රැගෙන යැමට ඇති කරනු ලබන පෝනියන්ගෙන් නුවරඑළිය මහ නගර සභාව මේ දිනවල අමතර ආදායමක් ඉපැයීමේ ක්‍රමයක් අනුගමනය කීම නිසා තමන් ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවට පත් ව ඇතැයි නුවරඑළිය පුද්ගලික පෝනි සංචාරක සංගමයේ සාමාජිකයෝ චෝදනා කරති. නුවරඑළිය නගර සීමාවේ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින පිරිසක් ජීවනෝපාය ලෙස පෝනියන් 50 දෙනෙකු පමණ ඇති කරනු ලබන අතර, එම පෝනියන් නුවරඑළිය තුරඟ තරග පිටිය අවට මේ දිනවල නිදැල්ලේ සැරිසැරීමට එම සත්වයන්ගේ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් මේ දිනවල කටයුතු කර ඇත.
නිදැල්ලේ අත හැර දමා ඇති පොනියන් නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගවලට පිවිසීම නිසා රථවාහන ගමනාගමනයට බාධා පැමිණන නිසාත්, නුවරඑළිය නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතා නිසාත්, ප්‍රධාන මාර්ගයට පෝනියන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් පෝනි අයිතිකරුවන්ගෙන් දඩ මුදලක් අය කිරීමට නුවරඑළිය මහ නගර සභාව පියවර ගෙන තිබේ.
පෝනියෙකු ප්‍රධාන මාර්ගයට පිවිසිය හොත් එක් පෝනියෙකුට රුපියල් 2500ක දඩ මුදලක් අයිතිකරුගෙන් නගර සභාව අය කරගන්නා අතර, පෝනියාව නගර සභා භාරයෙන් තබා ගන්නා එක් දිනකට අමතර රුපියල් 500ක මුදලක්ද අය කරන බව එම සංගමයේ සාමාජිකයෝ පවසා සිටිති. තුරඟ තරග පිටියේ නිදැල්ලේ සැරිසරන පොනියන් නගර සභාවේ ඇතැම් සේවකයන් විසින් ගල් ගසා ප්‍රධාන මාර්ගයට පලවා හැර පසුව එම නගර සභා සේවකයන් විසින්ම එම සතුන් අල්ලා නුවරඑළිය බඹරකැලේ ප්‍රදේශයේ පිහිටි නගර සභාව සතු ඉඩමකට රැගෙන ගොස් ගාල් කරන බවත්, එම සතුන් මුදා ගැනීමට නගර සභාව අය කරන දඩ මුදලට අමතරව සතාව නිදහස් කර ගැනීම ප්‍රමාද වන එක් දිනකට රුපියල් 500 බැගින්ද නගර සභාවට ගෙවීමට සිදු ව ඇති බවයි එම පෝනි සංගමයේ සාමාජිකයෝ කියති. තවද නගර සභාව භාරයට ගන්නා පෝනියන්ට ලබාදෙන තෘණ ප්‍රමිතියෙන් තොර තෘණ බවත්, සතුන් ගාල් කර තබන ඉඩම කුඩා ඉඩමක් නිසා සතුන්ගේ අපද්‍රව්‍ය එම සතුන්ගේ පයට පැගීමෙන් සතුන්ගේ කුර වල විවිධ රෝග හටගන්නා බවද ඔවුහු කියා සිටිති. පවන්නා වසංගත තත්ත්වය සමග නුවරඑළියේ සංචාරක කර්මාන්තය. මේ දිනවල කඩාවැටී ඇති බවත්, තම සංගමය සතු සතුන්ට අවශ්‍ය සත්ව ආහාර ලබා දීමට ආර්ථික වශයෙන් තමන්ට නොහැකි නිසා සතුන් තුරඟ තරග පිටිය අවට නිදැල්ලේ අතහැර දමා ඇති බවද කියති.පෝනියන් ප්‍රධාන මාර්ගයට පිවිසීම නිසා නගර සභාව විසින් අය කරන දඩ මුදල අවම කර දීමට කටයුතු කරදෙන ලෙස ඔවුහු අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බොදිමාන්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය කියා සිටියේ, නගර සභාවේ සේකයන් විසින් එවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳ තමන් කඩිනමින් සොයා බලන බවයි. අය කරන දඩ මුදල සම්බන්ධයෙන් පූර්ණ වගකීම මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් නුවරඑළිය නගර සභාවේ නගරාධිපතිවරයාට පැවරී ඇති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
(හැටන් - රංජිත්)
0 Comments