rmv-licence

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් 2009 වසරට පෙර මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක තොරතුරු එහි පරිගණක පද්ධතියට එක්කර නැති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 1970 සිට 2009 වසර දක්වා වූ කාලයේ නිකුත් කර ඇති ලක්ෂ ගණනක රියැදුරු බලපත්වල තොරතුරු මෙම පරිගණක පද්ධතියේ නැති බව ද 2009 වසරෙන් පසු නිකුත් කර ඇති සියලුම රියැදුරු බලපත්වල තොරතුරු මෙම පද්ධතියට එක්ව ඇති බව ද එම ආරංචිමාර්ග පවසයි.
2009ට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ අවශ්‍යතාවක් නොපැවතීමත් ඒවායෙහි තොරතුරු ලිපි ලේඛනවල සටහන් කර තිබීමත් බොහෝ ලිපිලේඛන විනාශ වී සහ අස්ථානගත වීමත් මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් ප්‍රකාශකයකු සඳහන් කළේය.



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත් කාර්යාල ලේඛනාගාරයේ තොරතුරු සටහන් ලෙජර් පොත් පන්සියයකට වැඩි ගණනක් තිබෙන බවත් ඒ අතරින් සිය ගණනක්ම මීයන් සහ වේයන් කෑමෙන් විනාශ වී සහ අස්ථානගත වී ඇති බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් පැරණි රියැදුරු බලපත්‍රයක් අස්ථානගත වූ අයෙකුට දඩ කොළයක් හෝ බලපත්‍රය තමන්ගේ යැයි සනාථ කළ හැකි අනන්‍ය සහතිකයක් ගෙන ඒමට හෝ තොරතුරු නැති නම් මුල සිටම නව රියැදුරු බලපතක් ලබාගැනීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (රියැදුරු බලපත්) චතුර ලියනගුණවර්ධනගෙන් කළ විමසුමකදී සඳහන් කළේ ලෙජර් පොත්වල සටහන් කර ඇති රියැදුරු බලපත්‍ර තොරතුරු නව පරිගණක පද්ධතියට එක්කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවය.

2009 සිට 2020 වසර අවසානය දක්වා පැරණි රියැදුරු බලපත්‍ර දාහතර ලක්ෂ හැත්තෑ පන්දහසක් අලුත් කර ඇතැයිද සහකාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

2009 වසරෙන් පසු නිකුත් කර ඇති සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර වසර අටකින් සහ බරවාහන රිය බලපත් වසර හතරකින් අලුත් කිරීම අනිවාර්ය වන නමුත් එම වසරට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීම අනිවාර්ය නොවන බව ද හෙතෙම කීවේ.

එෆ්. අස්ලම්