nalin-c-kithulwatte-speaks
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබන දරුවන්ට 'නිහඬ මාරයා' යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්වයක් (Silent Hypoxio) හටගන්නා බව රටේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකය බාර විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මහතා පැවැසීය. කොවිඩ් වැළඳුණු දරුවකු සුව වීමෙන් පසු, සාමන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරිමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම එම රෝගී තත්වයේ ස්වභාවය බව ද හෙතෙම සඳහන් කළේය.  

සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදී ලක්ෂණ පෙන්නුම් කෙරෙන නමුත්, මෙම රෝගයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීම විශේෂත්වයක් බව පැවැසූ කිතුල්වත්ත මහතා,  කොරෝනා ආසාදනය වී ඇති දරුවන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය මේ තත්වය යටතේ සතියකට වරක් හෝ මැන බැලීම වැදගත් වන බව ද ප්‍රකාශ කළේය.

සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය සියයට 94ට වඩා අඩු නම් සහ සාමාන්‍ය තත්වයේ සිටින විට සියයට 96ට වඩා අඩු නම් දරුවන් වහාම රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කළේය.


මීට පෙර පැතිර ගිය ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූ දරුවන්ට රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළ ද ඩෙල්ටා ප්‍රභේදය සමග රෝග ලක්ෂණ මතුවීම වැඩි වී ඇතැයි පැවැසූ විශේෂඥ   වෛද්‍යවරයා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෝවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව අඩු වුව ද දැඩිසත්කාර අවශ්‍ය දරුවන් ගණන සැලකිය යුතු ලෙස වැඩි වී ඇතැයි ද ප්‍රකාශ කළේය.

රෝහල්ගත කෙරෙන රෝගී දරුවන් ගණන අඩු වී ඇත්තේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම නිසා බවත්, කොරෝනා ආසාදනය වූ දරුවන් නිවාස වල රැක බලා ගැනීමේ වැඩසටහන ද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසීය. වයස 12ත් 18ත් අතර දරුවන්ට මොර්ඩනා සහ ෆයිසර් එන්නත් ලබාදීම අනුමත වී ඇතැයි ද කිතුල්වත්ත මහතා කීව්වේය. මේ සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ඡා පවත්වමින් සිටින බවත්, එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහ නිදන්ගත රෝග තිබෙන දරුවන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඔහු පැවැසුවේය.


 -සුජිත් හේවාජුලිගේ-