ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට් ආයතනය) රජයට තිබූ අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පර්ශවලට එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේත්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයට නිර්දේශ කර ඇත. මේ අතර ස්ලිට් ආයතනය පෞද්ගලීකරණය කෙරුණු සංකීර්ණ සහ ගැටලු සහගත ක්‍රියාදාමය සංවිධානාත්මක වංචාවක් බවට පෙනීයන්නේ යැයිද කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. මේ ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා දෙක පිළිබඳව දෙදින විවාදයක් පැවැත්වීම සඳහා කතානායකවරයාට යෝජනා කිරීමටද මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළේය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වර්තමාන තත්වය සහ එම ආයතනයට අදාළව ගනු ලබන මීළඟ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ රටේ පුළුල් සංවාදයක් ඇති කිරීමට එමගින් අපේක්ෂා කරන බව මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. මෙම ආයතනය කිසිදු අමාත්‍යාංශ විෂය පථයකට ඇතුළත් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය 2017 වර්ෂයේදී ගත් තීරණය නැවත සමාලෝචනය කර ඒ ආයතනය අමාත්‍යාංශයක් යටතට පත්කිරීමටද කෝප් කමිටුව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
මහපොළ අරමුදලේ ව්‍යාපෘතියක් ලෙස එම අරමුදලෙන් රුපියල් කෝටි 50 ක පමණ මුදලක් ප්රාග්ධනය ලෙස යොදවා අරමුදලට අයත් මාලබේ පිහිටි ඉඩමක ආරම්භ කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අරමුදලේ පාලනයෙන් සහ ආයතනය පිහිටුවීමේ මූලික අරමුණෙන් බැහැරව වාණිජ ව්‍යාපාරයක් ලෙස අධික ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට විවිධ පාර්ශව කටයුතු කර ඇතැයි නිරීක්ෂණය වන බවත්, මේ තත්වය වෙනස් කර ආයතනය ඒ අරමුදලට නැවතත් පවරාගෙන සාධාරණ ගාස්තු ගෙවීමකට යටත්ව එහි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව ලබාදීමටද නිර්දේශ කර ඇති බවත් කෝප් කමිටුව සඳහන් කරයි.
රජයේ මුදල් ආයෝජනය කර ආරම්භ කෙරෙන ඕනෑම ආයතනයක් පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවීමට ඇති නෛතික හැකියාවද කාරක සභා සාමාජිකයන්ගේ දැඩි අවධානයට මෙහිදී ලක්විය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීමට අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, එරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, නලින් බණ්ඩාර සහ ශානක්කියන් රාසමානික්කම් යන මහත්වරුද විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ද සහභාගි වූහ.
-අංජුල මහික විරරත්න-
0 Comments