teachers-42-arrested

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි  කාන්තාවන් 16 ක්  ඇතුළු 42ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


මෙම පිරිස මහා මාර්ගය අවහිර කරමින් කළහාකාරි ලෙස හැසිරෙමින් විරෝධතාවේ නිරත වු බවත්, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්නද ඔවුන් එම අවවාද පිළි නොපැදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ගුරු සංගම් ප්‍රකාශකයෙකු පැවසුවේ උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම සැලසුම්සහගතව නිවෙස් බලා යද්දී සිදු කර ඇති බවයි. දිවයිනේ ස්ථාන 4 ක සිට ගාලුපාර,හයිලෙවල්පාර,නුවර පාර හා මීගමුපාර දිගේ රථ පෙළපාලි වලින් පැමිණ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද උද්ඝෝෂණය 24 වන දිනට ක්‍රියාත්මක විය. ජනපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණ සංගම් නිලධාරීන් සමග කතාබහක්ද කර ගියේය.
අනතුරුව පිරිස විසිර ගිය බවත් නිවෙස් බලා යාමට ඔවුන් තනි තනිව බස් නැවතුම් වෙත යමින් සිටියදී බුද්ධි අංශ නිරීක්ෂණයෙන් පිරිස හඳුනාගෙන සැලසුම්සහගතව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවය. ඒ අනුව රූපවාහිනී කැමරාවලට මෙම අත්අඩංගුවට පත්වීම හසුවූයේද නැත.