ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීම සඳහා අද (02) දින පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගැනීමට කටයුතු නොකළහොත් 04 වැනිදා ගුරු විදුහල්පතිවරුන් විසින් කොළඹ නගරය වට කර ක්‍රියාමාර්ග ගන්නා බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.මීට අමතරව රථ පෙළපාළියෙන් කොළඹට පැමිණන ගුරු විදුහල්පතිවරුන් විසින් ජනාධිපති කාර්යාලය අසලදීත් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අදාළ ගැටලු විසඳීම සඳහා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබෙන බව එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටලින් මහතා සඳහන් කළේය.
මේ අනුව වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම සුබෝධනී කමිටු වාර්තාවට කැබිනට් අනුමැතිය හිමි විය යුතු බවත්, සුබෝධනී කට්ටුව පත් කරනු ලැබුවේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව අදාළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් රට පුරා සිටින ගුරු විදුහල්පතිවරුන් විසින් 04වැනිදා දින රථවාහනවලින් කොළඹට පැමිණ කොළඹ නගරය වටකර විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ලේකම්වරයා පැවසීය.ඒ අනුව මොරටුව, කඩවත, වැලිසර සහ කොට්ටාව යන ප්‍රදේශවලින් අදාළ රථ පෙළපාළි කොළඹ නගරයට ඇතුළු වන බවද එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය. මීට අමතරව ගැටලු විසඳන තෙක් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයේ රාජකාරි කටයුතුවලට අදාළ අයදුම්පත් නොකිරීමටත් මෙම විභාගවලට අදාළව උත්තර පත්‍ර පරික්ෂා කිරීමට අදාළ රාජකාරි කටයුතු සඳහා අයදුම්පත් යොමු නොකිරීමටත් තීරණය කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
එසේම පසුගිය මස 12 වැනිදා ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයත්, ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරන බවත් එම සන්ධානයේ සාමාජික ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සඳහන් කළේය.මීට අමතරව මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත පාසල් ශිෂ්‍යයන්ගේ විභාග අයදුම්පත් යොමු නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ක්‍රියාත්මක බවද ඒ මහතා පැවසීය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments