wahalkada-sumedha-thera

"මගේ මස්සිනා කොරෝනා හැදිලා මිය ගියා. මගේ පවුලේ මරණයක් හින්දා මම ඒකට මැදිහත් වුණා. මේ මරණය ආදාහනය කරන්න සුසාන භූමියටයි පෙට්ටියටයි රුපියල් 28000/- ක් ගෙවන්න අපට සිද්ධ වුණා" යැයි කැබිතිගොල්ලෑවට සියඹලාගස්වැව ශ්‍රී ධීරානන්ද විහාරස්ථානයේ විහාරාධිපති වාහල්කඩ සුමේධ හිමියෝ පැවැසූහ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී කොරෝනා රෝගයෙන් මියගිය වාහල්කඩ ඩී - 05 ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩබ්ලිව්. පේමසුන්දර (51) නමැති උන්වහන්සේගේ මස්සිනාගේ ආදාහනය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.




"අනුරාධපුර රෝහලේ පී.එච්.අයි. ඔෆීස් එකේ මහත්වරුන් මට කිව්වා, හාමුදුරුවනේ, කැමැති නම් පෙට්ටියක් පිටින් අරගෙන එන්න. එහෙම නැත්තම් රජයත් එක්ක සම්බන්ධ වුණ මල් ශාලාවක් තියෙනවා. එතනින් ගන්නත් පුළුවන් කියලා. ඉතින් ඒ වෙලාවේ මිනිය ආදාහනය කරගන්න වෙලාවක් වෙන්කර ගන්නත් හදිසි නිසා මම කිව්වා ඒ ආයතනයෙන් මට පෙට්ටියක් අරගෙන දෙන්න කියලා.  ඊට පස්සේ අනුරාධපුර මහා නගර සභාවට ගිහිල්ලා ආදාහනය කරන වෙලාවක් ඉල්ලුවාම, මිනිය ආදාහනයට රුපියල් 10,000 ක් ගෙවන්න කිව්වා. ආපහු රෝහලට ආවාම පෙට්ටියට රුපියල් 18,000 ක් ඉල්ලුවා. රජයත් එක්ක සම්බන්ධ වෙච්චි ආයතනයක් කියලා කිව්වට එතන සිදුවුණු ගනුදෙනුව පිළිබඳව කිසිම නීත්‍යනුකූල බවක් පෙනුණේ නෑ. අපට කිසිම බිලක් හෝ රිසිට් පතක් දුන්නේ නෑ. මේ වගේ වෙලාවල්වල අන්ත අසරණ වුණ මිනිසුන් තව තවත් අසරණ වෙනවා.


මරණය ආදාහනය කරලා  වියදම් වූ 28000 හොයන්න ආය දුක් විඳින්න වෙනවා. කොවිඩ් මරණ ආදාහනය කරන පිළිවෙළ ගැන හරි තීරණයක් කෙළින් අරගෙන රජය ක්‍රියා කරන්නෙ ඕනෑ. ඒ විතරක් නෙවෙයි, කනත්තට ගියාම අර හැඬු කඳුළින් ඉන්න ඥාතීන්ගෙන් ආදාහන කටයුතු කරන උදවිය තේ බොන, සිගරට් බොන්න සල්ලි ඉල්ලමින් ඒ අය තවත් පීඩාවට පත් කරනවා. මේවා අසරණ දුප්පත් මිනිස්සු කාට කියන්න ද? මේ සම්බන්ධයෙන් අනුරාධපුර රෝහල් පරිශ්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමේ  දී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ,

මෙය රජයේ කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික මශාලාවක් විසින් පෙට්ටි සපයන බවත්, මේ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ කිසිම මැදිහත් වීමක් හෝ සම්බන්ධතාවක් හෝ  නොමැති බවය.  රුපියල්  18000 ක් වැනි මුදලක් අයකර ඇත්නම් එය ඉතා  අසාධාරණ යැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කීය. අනුරාධපුර මහ නගර  සීමා බල ප්‍රදේශයේ පදිංචි අයගේ මරණ සඳහා මුදල් අය කරන්නේ නැහැ. හැබැයි අනුරාධපුරෙන් බැහැර වෙනත් ප්‍රදේශවල පදිංචි අයගේ මරණ ආදාහනය සඳහා මහ නගර සභාවෙන් රුපියල් 10,000ක් අයකරනවා යැයි කීය.


 -හේමන්ත රණසූරිය-