මෙරට මුහුණ දී සිටින කොරෝනා අවදානම තත්වයට පිළියමක් වශයෙන් රට යම් කාලයකට වසා දැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් මේ අවස්ථාවේ රජය ඊට අවනත වී රජය කළ යුත්තේ එම ඉල්ලීමට ඇහුම්කන් දී කිසියම් කාල සීමාවකට හෝ රට වසා දැමීම බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.
පෙර රජ දවස සිට නැවත එන චාරිත්‍රයක් ඉෂ්ට කරමින් ආදිවාසී නායක සහ ඔහුගේ ආදිවාසී පිරිස ඊයේ 18වැනිදා මහනුවරට පැමිණ ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ සාම්ප්‍රදායික මී පැණි පුජාව සිදු කිරීමෙන් අනතුරුව ආදිවාසී නායකයා එම අදහස් පළ කරමින් මෙසේ පැවසීය.වෙනත් වසරවලදී මේ මීපැණි පූජාවට අපේ පරම්පරාවේ සීයක් විතර සහභාගි වෙනවා. ඒත් අද රටේ පවතින තත්වය හේතුවෙන් අද අපි දහ දෙනකු පමණයි සහභාගි වන්නේ. ඒ අයත් එන්නත් මාත්‍රා දෙකම ගත් අයයි. මොන වසංගත තත්වයක් ආවත් අපේ චාරිත්‍ර අපි ඉටු කළ යුතුයි. මේ වසංගතය ස්වභාව ධර්මයා විසින් ලෝකයාට දීලා තිබෙන දඬුවමක් හැටියටයි මා දකින්නේ.
මේ වසංගතයට ජාති, ආගම්, පාට, පක්ෂ, භේදයක් නැහැ. ලෝකයේ ඕනෑම බලවත් රටක ඉහළම පුද්ගලයාගේ සිට පහළම පුද්ගලයා දක්වා මේ රෝගයේ අවදානමට අද ලක් වෙලා ඉන්නවා. අපේ ආදිවාසී පරම්පරාවේ පිරිසකටත් රෝගය වැළඳිලා කියලා අපට දැනගන්නට ලැබීම තිබෙනවා. මේ කාලයට අපේ අයට කැස්ස උණ වැනි රෝග හැදෙනවා. ඒ අයට හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් හැදෙන රෝග තත්වය ද, එසේ නැත්නම් කොරෝනා රෝගය ද කියලා අපට තාම නිශ්චිත නැහැ.
රජයට, සෞඛ්‍ය අංශ හෝ ආරක්ෂක අංශවලට හෝ මේ වසංගත රෝගය තනිව පාලනය කරන්න බැහැ. රටේ ජනතාව විනයගරුකව සෞඛ්‍ය නීතිරීතිවලට ගරුකර ඊට අනුගත වෙලා කටයුතු කළොත් තමයි මේ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කරගන්න පුළුවන්. අපි දැක්කා රජය නීති පනවන්න ඉස්සරවෙලා පවතින අවදානම් තත්වය තේරුම් ගෙන බොහෝ නගරවල ව්‍යාපාරිකයන් ස්වයං වාරණ වලට එළැඹිලා තම ව්‍යාපාර වසා දැමීමට තීරණය කොට ඇති ආකාරය. මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. රජයේ හෝ වෙනත් අංශවලට දොස් කිය කියා ඉන්නවට වඩා තමන් ම තත්වය තේරුම් ගෙන කටයුතු කරනවා නම් ඒක ඉතාම යහපත්. මෙම අවස්ථාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ අතර චාරිත්‍රානුකූලව ආදිවාසී නායකයා ඇතුළු පිරිසට තෑගි බෝග ලබා දීමද සිදු කෙරුණි.
(ජේ.ඒ.එල්. ජයසිංහ,)
0 Comments