welipanna-service-area-death

දක්‍ෂිණ අධිවේගී  මාර්ගයේ වැලිපැන්න සේවා ප‍්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිපැන්න පොලිසිය  මගින් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් තිබුනේ මාලඹේ, 32 වැනි පටුමගේ පදිංචිව සිටි දිනේෂ් ජයවීර නමැති 45 හැවිරිදි ඉංජිනේරුවරයකු බවට හඳුනාගෙන ඇත.
මියගිය දිනේෂ් පසුගිය 30 වැනිදා පෙරවරුවේ නිවසින් පිටත්ව ගොස් තිබෙන අතර ඔහු දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දෙසට ගමන් කරමින් සිටියදී වැලිපැන්න සේවා ප‍්‍රදේශයට එදින දහවල් ඇතුළුවී තිබූ බවට සීසීටීවී දර්ශන පරීක්ෂාවේදී හෙළිවූ බව පොලිසිය කියයි.
ඔහු දිගටම වැලිපැන්න සේවා ස්ථානයේ වාහන නවතා තබන අංගනයේ සිට ඇත්තේ වාහනය පණගන්වමින් තබාගෙනයි. කිසිවෙකුට ඒ ගැන මුලදී අවධානයක් තිබී නැත.



මියගිය අය කිසියම් අසනීප තත්ත්වයක පසුවූ බවට බිරිය පවසන අතර සිදුවීම සිද්ධවූ දිනයේ නිවසින් පිටවූ ඔහුට දිගටම ඇමතුම් ලබාගනිමින් ඔහු ගැන සොයා බැලූ මුත් පණිවිඩ සම්බන්ධ කරගත නොහැකිවීම හා ඔහු ගිය තැනකට හෝ ගොස් ඇතැයි වාර්තා නොවීම මත නිවැසියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙයි.
පොලිසිය ඔහු සිටින තැන් සොයමින් තිබුණත් ඔහු වැලිපැන්නේ සිටින බවක් දැනසිට නැත.


කරුණු මෙසේ සිදුවෙමින් තිබියදී දක්‍ෂිණ අධිවේගී මාර්ග සේවා ස්තානයේ රෑ එලිවනතුරුත් නවතා තිබෙන සැක සහිත වාහනය ගැන පොලිසියට ලද තොරතුරකට අනුව වැලිපැන්න පොලිසිය සේවා ස්ථානයේ නවතා තිබෙන ජීප් රථය පරීක්ෂාවට ගිය අතර ඔහු වාහනය නවතාතැබූ දිනට පසු දින
වාහනය තුළ  මියගොස් සිටියදී සොයා ගන්නා ලදි.


සේවා ප්‍රදේශයේ සේවකයන් විසින් ඒ පිළිබඳ සොයා බැලීමේදී පුද්ගලයකු පිටුපස අසුනේ සිටින බව දැක කතා කළත් අවදි නොවූ හෙයින් ජීප් රථයේ ඉදිරි වම්පස පැති වීදුරුව කඩා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබේ. දිගටම ඇන්ජිම පණගන්වා තිබී ඇති අතර ඇතුළත සිටි අයව එලියට ගෙන ඇත්තේ වීදුරුවක් කඩාය.
පරීක්‍ෂණ පැවැත්වූ වැලිපැන්න පොලිසිය මියගිය අය සන්තකයේ තිබූ ලිපි ලේඛනවලට අනුව ඔහු කාගේ කව්දැයි හඳුනාගෙන ඒ බව මියගිය අයගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.



මියගිය අයගේ ඥාතීන් විසින් සිරුර හඳුනා ගැනීමෙන් පසු ඔහු ගැන වැඩිදුර විස්තර හෙලි විය.
එලෙස මියගොස් ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචිවසිටි සිවිල් ඉංජිනේරුවකු වන දිනේෂ් ජයවීර (45) නැමැති ව්‍යාපාරිකයෙකි. ඔහු දෙදරු පියෙක් බව ද වාර්තා වේ.
මෙම සුඛෝපභෝගී ජීප් රථය (30) දින දහවල් 1.06 ට පමණ සේවා ප්‍රදේශයට ඇතුළු වන අයුරු එහි සවිකර ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව තිබු බව පොලීසිය පවසයි.මියගිය දිනේෂ් අසනීපයකින් පෙළෙන බව බිරිය පවසා තිබුණත් ඒ ගැන තවම වැඩි තොරතුරු ලැබී නැත.
මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි .
එම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කලුතර නාගොඩ රෝහලේ දී සිදුකිරීමට නියමිතය.