කොරෝනා වසංගතයත් සමග හඳුන්වා දුන් ‘නිවසේ සිට වැඩ කිරීමේ’ ක්‍රමවේදය හේතුවෙන් චීනයේ ප්‍රධාන නගරයන්හි අහස උසට නැගුණු දැවැන්ත ගොඩනැගිලිවල පවතින කාර්යාලවල සේවය කිරීම සඳහා සේවකයන් හිඟවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 



මාරාන්තික වයිරසයේ සිය සේවකයන් ඈත් කර තැබීමට බොහෝ චීන ආයතන වසංගතය ආරම්භයේ දී කටයුතු කළ නමුත් දැන් නිවසේ සිට වැඩ කිරීම ජනප්‍රියව ඇති හෙයින් සේවකයන් කාර්යාලවලට පැමිණ සේවය කිරීමට උනන්දුවක් නොදක්වන බව පැවසේ.

විශේෂයෙන් චීනයේ දේපොළ වෙළෙඳාම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට මෙම තත්ත්වය දරුණු ලෙස බලපා ඇත. එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව අප්‍රේල්-ජුනි කාර්තුවේ දී මෙලෙස කාර්යාල සඳහා සේවකයන්ගේ හිඟකම 26.4%ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2019 වසරේ එම කාලයට සාපේක්ෂව 7.5%ක වර්ධනයකි.

මේ වන විට චීනයේ ක්‍රියාකාරීම වාණිජ ප්‍රාන්තයක් වන ෂෙන්සෙන්ස් ෆුටියාන් දිස්ත්‍රික්කයේ කාර්යාල ගොඩනැගිලි 70%ක සේවක පුරප්පාඩු ගැටලුවෙන් පීඩා විඳින බව පැවැසේ. මෙම තත්ත්වය මත චීනයේ දේපොළ වෙළෙඳාම් වැනි ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර කුඩා පරිමාණ දේපොළ වෙළෙඳාම් සමාගම් බ්ලැක්ස්ටෝන් වැනි දැවැන්ත සමාගම්වලට සිය කොටස් විකුණා දැමීමට පෙළඹී ඇති බවද ජනමාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

(නයන තරංග ගමගේ)