කොරෝනා ව්‍යසනය හේතුවෙන් පවුල් පිටින් ජීවිත අත්හැර යන්නේ ජීවිතවලට කිසිදු වටිනාකමක් ඉතිරි කරන්නට ඉඩ නොතබාමය.
පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරී ටිරෝන් ද සිල්වා මහතාගේ බිරිය සහ එකම පුත්‍රයා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගියදා ජීවිත හැර ගියේ මෙම අවාසනාවන්ත තත්වය නැවත අලුත් කරමිනි.
බොරැලස්ගමුව දිවුල් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින ටිරෝන් ද සිල්වාගේ පවුලේ සිටියේ බිරිය හා පුතු පමණි.
බිරිය සුනීතාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගියදා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලදුව දැඩි අසාධ්‍ය තත්වයට පත්වී පසුගිය 20 වනදා ජීවිතක්ෂයට පත්විය. ඇය මියයන විට 52 වන වියෙහි පසු වූවාය. මේ අතර ඇගේ රෝගය අවස්ථාවේ සිට ඒ ගැන සොයා බැලූ 25 හැවිරිදි එකම පුතු ට්රෙවින්ටද රෝගය ආසාදනය වූ ලක්ෂණ පහළවූ අතර ඔහු නිරෝදායනයට යොමු විය. පසුව ඔහුව බොරලැස්ගමුවේ පිහිටි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් වූයේය. තත්වය එන්න එන්නම අසාධ්‍ය තත්වයට පත්වූ අතර ඔහුද 30 වනදා මියගියේය. ඒ ඔහුගේ මව මියගොස් හරියටම දින 10 කිනි.
මෙම සිදුවීම් අතරවාරයේ සහකාර පොලිස් අධිකාරිවරයාද නිරෝධායනය වෙමින් කුණ්ඩසාලේ පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට සිදුවූ අතර ඔහුට සිය එකම පුතුගේ වියෝව වෙනුවෙන් ඊයේ 31 නැදිමාල සුසාන භූමියට පැමිණ උපහාර දක්වන්නට සිදුවූයේ දැඩි නිරෝධායන රෙගුලාසි සමගිනි.
මියගිය 25 හැවිරිදි එකම පුතු ට්‍රෙවින් එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් සම්පූර්ණ කර ලංකාවේ නීති සිසුවෙකු ලෙස අධ්‍යයනය ලබමින් පසුවිය.
දින 10 ක් තුළ සිය පවුලම අහිමිවීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ ටිරෝන් ද සිල්වා මහතාගේ පවුලේ තවත් ඥාතීන් කිහිප දෙනෙක්ද කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.
0 Comments