damana-incident

කදානගෙදර පොලිස් වසමේදී ඉකුත් 28 වැනිදා පැහැරගෙන යාමට ලක්වූ බව කියන කාන්තාවක් දින කීපයක් පාළු නිවෙසක රඳවා තබා ගැනීමෙන් පසුව  8 වැනිදා අලුයම දමන පොලිස් වසමේ කීනවත්ත ප්‍රදේශයේ මාර්ගයකට ගෙනැවිත් දමා සිටිය දී සොයාගෙන ඇතැයි දමන පොලීසිය පවසයි.   හිගුරාණ කීනවත්ත මාර්ගයේ කෝන්ගස් හන්දිය අසල 40 දක්වා යන මාර්ගයේ දෙවැනි වංගුවේ ඇය වැටී සිටිනු දුටු අසල්වාසීන් හා ග්‍රාම නිලධාරිවරයා මේ පිළිබඳව දමන පොලීසියට දැනුම් දී ඇත.

අත් පා ගැට ගසා රෙදි කඩකින් කට බැඳ තිබුණ මෙම කාන්තාව මුදා ගත් දමන පොලීසිය 1990 ගිලන් රථ සේවය මගින් අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.


31 හැවිරිදි ඇය එක්දරු මවක බව කියන මෙම කාන්තාව ඉකුත් 28 වැනි දා ඇගේ දරුවා සමග පාරේ ගමන් කරමින් සිටිය දී ත්‍රිරෝද රියකින් පැමිණි අයකු ඇස්වලට මිරිස් කුඩු  ගසා මෙම පැහැරගෙන යාම සිදු කළ බවත්, ඉන් පසු කපරාරු  කර නොතිබුණ නිවෙසක රඳවා තබාගත් බවත් පවසයි.  දිවා රාත්‍රි පුද්ගලයන් තිදෙනා බැගින් ඇය සිරකර ගෙන සිටි බව ද ඒ අවට ගල්කඩන ශබ්ද ඇසෙමින් තිබුණ බව ද කියති.  පසුව ඩබල් කැබ් රියකින් මෙසේ ගෙනැවිත් දමා ගිය බව ද පැවසේ.  ඇය දමා ගොස් තිබුණ ස්ථානයේ සිට මීටර් 15ක් පමණ දුර බඩගාගෙන විත් පාර මැද වැටී සිටි අතර දණහිස දක්වා කොට කලිසමකින් හා සුදු පාට බ්ලවුසයක් හැඳ සිටි අතර

ඇගේ කොණ්ඩය කොටට කපා තිබූ බව පොලීසිය කීය.  මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ලෙස පෙනී සිටින පුද්ගලයකු තම දියණිය ඉකුත් 28 වැනිදා ත්‍රිරෝද රියකින් රැගෙන ගොස් ඇති බවට ඇගේ මව කළ පැමිණිල්ලට අනුව විමර්ෂණ සිදු කරන බව බවත් කදානගෙදර පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.  මේ අතර දමන පොලීසිය මගින් ද ප්‍රකාශයක් ලබා ගැනීමට  නියමිත විය.


 -නවරත්න සමරතුංග-