17-Paralympic-gold-medalist-Sarah-United-Kingdom

ඩේම් සාරා ස්ටෝරි මහා බ්‍රිතාන්‍යයේ සාර්ථකම පැරා ඔලිම්පික් ක්‍රීඩිකාව බවට පත්ව ඇත. මේ දක්වා පැරාලිම්පික් නියෝජනය කළ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් රන් පදක්කම් 16 ක් දිනා සිටි පිහිනුම් ක්‍රීඩක මයික් කෙනීගේ (1976-88) වාර්තාව සාරා අභිබවා ගියේ ටෝකියෝ 2020 හි පැවති සී 4-සී 5 පාපැදි මාර්ග ධාවන තරඟයේ 17 වැනි රන් පදක්කම දිනා ගනිමිනි.
ඒ අනුව ඇය බ්‍රිතාන්‍ය පැරාලිම්පික් රන් පදක්කම් වැඩිම ගණන දිනූ තැනැත්තිය වන අතර ලෝක මට්ටමේ සැලකීමේදී 7 වැනියා බවට පත්ව තිබේ. 1980-2004 කාලයේ ඇමරිකානු පිහිනුම් ක්‍රීඩිකා ට්‍රිචා සෝර්න් රන් පදක්කම් 41 දිනා එතෙක් මෙතෙක් පැරාලිම්පික් වැඩිම රන් පදක්කම් ගණනට වාර්තාවක් තබා ඇත.

උපතින්ම වම් අත පණ නොමැතිව ඉපදුණු ඩේම් සාරා ලන්ඩන් 2012 සහ රියෝ 2016 යන ඉසව් දෙකෙන්ද මේ ඉසව්ව ජයග්‍රහණය කළාය.


ඇගේ විශේෂත්වය නම් මුලින් පිහිනුම් ක්‍රීඩිකාවකවී සිට පසුව පාපැදි ධාවනයට යොමුවීමය.
 43 හැවිරිදි  ඩේම් සාරා පැවසුවේ තමාට සිදු වූ දෙය "පැහැදිලි කිරීමට හෝ ගණනය කිරීමට" නොහැකි බවයි.
වැසිසහිත බිහිසුණු කාලගුණික තත්ත්වයන් මැද පාපැදි තරගය වෙනදාට වඩා දුෂ්කර මුහුණුවරකින් පැවතුණත් තමාට ඉලක්කය අපහසු නොවූ බව ඇය කීවාය.
1992 බාර්සිලෝනා පැරා ඔලිම්පික් උළෙලේදී පිහිනුම් ක්‍රීඩිකාවක් ලෙස ප්‍රථම වරට පෙනී සිටි ඇය රන් පදක්කම් දෙකක් මෙන්ම රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.
2008 බීජිං සඳහා බයිසිකලයට යාමට පෙර ඩේම් සාරා නැවත ඇට්ලන්ටා 1996, සිඩ්නි 2000 සහ ඇතන්ස් 2004 හි පිහිනුම් ක්‍රීඩා වලට තරඟ කළාය.
ඇය දිනා ඇති රන් පදක්කම් ගණන 17 වන අතර  ලෝකඩ හා රිදී ගණන් කළහොත් ඩේම් සාරා දැන් පදක්කම් 28 ක් දිනාගෙන ඇත.
සාරා විවාහක එක්දරු මවකි. තුන් හැවිරිදි පුත්‍රයා වන චාලිට බෙහෙවින් ආදරය කරන ඇය දැන් පවසන්නේ ඔහුට තව අවුරුදු 2 කින් පෙනෙන ලෙස පැරීසියේ 2024 දී  ඊළඟ පදක්කමත් දිනාගන්නා බවයි.