නිවෙස්ගත නිරෝධායන වැඩපිළිවෙළ යටතේ මේ දක්වා ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිතයන් 42,684ක ගෙන් රෝහල්ගත කිරීමට සිදු වූයේ 493ක් පමණක් බව ශ්‍රී ලංකා පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහාපති, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙරේදා (30 වැනිදා) පැවැසුවාය.
කොවිඩ් ආසාදිතයන් 14,625ක් මේ වනවිටත් නිවෙස් නිරොධායන වැඩපිළිවෙළ යටතේ ලියාපදිංචි වී නිරෝධායනය වෙමින් සිටින බව ඇය සඳහන් කළාය. නිරෝධායනය වූ 27,563 දෙනකු දින 14ක නිරෝධායනය අවසන් කර මේ වනවිට සුවය ලබා ඇතැයි කී විශේෂඥ වෛද්‍යවරිය, මෙම නිරෝධායන ක්‍රියාවලිය විශේෂඥ පුහුණු වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්ෂණයෙන් සිදුවන බවත්,කිසියම් රෝගියකුට සංකූලතා මතු වුවහොත් ගිලන් රථ සේවාවක් මගින් රෝහල් කරා යොමු කිරීමට කටයුතු කරන බවත් කීවාය.
විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගන්නේන මහත්මිය මේ බව පැවැසුවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පෙරේදා (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. කිසියම් අයකු කෝවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හරහා ලියාපදිංචි වී නිවෙස් නිරෝධායන වැඩපිළිවෙළට යොමුවිය හැකි බවත්, එම අවස්ථාව ලැබෙන්නේ නිවෙසේ ප්‍රමාණවත් පහසුකම් හා ජංගම දුරකතන පහසුකම් තිබෙන්නේ නම් පමණක් බවත් ඇය කීවාය.
එම රෝගීන් සම්බන්ධයෙන් දින 14ක කාලයේදී සොයා බැලීම සිදුවන්නේ එකම වෛද්‍යවරයකු යටතේ බව ද වෛද්‍යවරිය පැවැසුවාය. කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවැසුවේ, නිවෙස්ගත නිරෝධායනයට යොමුව සිටින අයට හුස්ම ගැනීමේ අපහසුතා ආදී රෝග ලක්ෂණ මතු වුවහොත් කෙටි දුරකතන අංක 247 අමතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් උපදෙස් ලබාගත හැකි බවයි. දැනට 20,000කට වඩා රෝගීන් මෙම සේවාව ලබාගෙන ඇතැයි ද ඇය කීවාය.
(ඩයනා උදයංගනී)
0 Comments