ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල ඇතුළු විමර්ශන නිලධාරීන් ඊයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ලබාගැනීමට ඊයේ (08 වැනිදා) පෙරවරුවේ සිට සිදු කළ මෙහෙයුම සිතූතරම් සාර්ථක වී නැති අතර ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද රැගෙන ගිය නමුත් ලොරි 39කට ප්‍රමාණවත් සහල් පමණක් ලැබුණු බව අනාවරණය වී තිබේ.
නිපුන සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි හයකට, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි විස්සකට, නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් ලැබී තිබේ.
සම්බා, කීරි සම්බා සහ නාඩු සහල් තොග මෙලෙස ලැබී ඇත.
ලබා ගත් සහල් ස.තො.ස. මගින් අලෙවි කර දින දහයක් ඇතුළත මුදල් ගෙවන බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය වී මෝල් හිමියන්ට පොරොන්දු වී ඇත. සහල් පාලන මිලට වඩා රුපියල් 3-5ත් අතර අඩු මුදලකට ලබාගෙන ඇත. අරලිය සහල් කර්මාන්ත ශාලාවේදී එහි හිමිකරු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ වී සඳහා ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් සහල් අඩු මිලකට ලබාදිය නොහැකි බවයි. තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කර රටේ නීතියට ගරු කරමින් සහල් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ. ‘‘දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය ඉල්ලා සිටියහ.
මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය. කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.
සහල් ලබාගැනීමට පෙර අත්‍යවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල් කාර්යාලය මහා පරිමාණ වී මෝල්වල ඇති සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව මහා පරිමාණ වී මෝල් හතරක වී කිලෝග්‍රෑම් මිලියන 136ක් ඇති බව අනාවරණය වී තිබේ.
පෙර වාර්තාව
නිපුන, අරලිය,නිව් රත්න ඇතුළු තොග ගබඩා වලට කඩාපැන්න මෙහෙයුමෙන් සහල් මිල අඩුවේ
0 Comments