එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් කරමින් ඩොලරයක් විකුණුම් මිල රුපියල් 226ක් බව ඊයේ (01) මෙරට පෞද්ගලික වාණිජ බැංකු බහුතරක් නිල වශයෙන් ප්රකාශ කළේය. කෙසේවෙතත් ඩොලරයේ විකුණුම් මිල ලංකා බැංකුවට අනුව රුපියල් 203.00 ක් හා මහජන බැංකුවට අනුව 204.99 ක් ලෙසින් සටහන් විය.
එහෙත් ශ්රී ලංකා මහ බැංකුව ඊයේ කළ නිර්දේශයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල පැවැතියේ රුපියල් 204.89ක අගයකි. මේ අතර වෙළෙඳපොළේ අසීමිත ලෙස ඉහළ ගොස් ඇති ඩොලරයේ මිල පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු 30 වැනිදා වාණිජ බැංකු දෙකක් වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක් මුදාහැරීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. හදිසි ආනයන බිල්පත් සහ තනි පාරිභෝගික ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ශ්රී ලංකා මහ බැංකුව මෙලෙස වාණිජ බැංකු වෙත ඩොලර් මුදාහැරීමට එකඟවූ බව සඳහන් වේ. එහෙත් මේ වනතුරුත් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පාලනයකට නතුවී නොමැත.
(නයන තරංග ගමගේ)
0 Comments