බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේදී රන් පදක්කම් 02ක්, රීදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ලෙස සමස්ත පදක්කම් 04ක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ පැවැති මෙම තරගාවලීය පෙරේදා (20)දා අවසන් විය.
මෙහිදී වයස 19න් පහළ බාලක ඉසව්ව නියෝජනය කළ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න හා වයස 19න් පහළ බාලිකා ඉසව නියෝජනය කළ රත්නපුර පර්ගසන් විද්‍යාලයේ ඔෂිනි ගුණවර්ධන රන් පදක්කම් දිනාගත්හ.
එමෙන්ම වයස 19න් පහළ බාලක ඉසව්ව නියෝජනය කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ලොකුගේ රීදී පදක්කමක්ද වයස 12න් පහළ බාලිකා ඉසව නියෝජනය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එසදි නෙවන්සා ලෝකඩ පදක්කමක්ද දිනාගත්හ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ හා ආසියානු වෙස් සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් මෙය පසුගිය 18වැනිදා සිට ටොර්නෙලෝ වේදිකාවේදී පැවැත්විණ.
ආසියානු චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා බටහිර ආසියානු රටවල් 17ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. වයස 08න් පහළ, 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ හා 18න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩ 12ක ඉසව් වශයෙන් මෙම තරගාවලිය පැවැත්විණ.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
0 Comments