මිනුවන්ගොඩ අලූතැපොල ප්‍රදේශයේ නිවසක ගෙහිමියා කොරෝනා ආසාදිතව මියගොස් පවුලේ අයටද කොරෝනා නිසා අසාධ්‍ය තත්වයට පත්යව රෝහල් ගතවී සිටින්නට සිදුවූ දුෂ්කර අවස්ථාවක නිවසට හොරු පැන්න සිදුවීමක් වාර්තාවේ.
මිනුවන්ගොඩ නැගෙනහිර අලූතැපොල පදිංචිව සිටි දෙදරු පියෙක් වූ 53 හැවිරිදි ගෙහිමියා කොරෝනා ආසාදිත වීමෙන් මියගොස් ඇත්තේ 05 වෙනිදාය.
නිවසේ නිරෝධායනය වෙමින් සිටි මියගිය අයගේ බිරිඳ දුව සහ පුතා ද කොරෝනා ආසාදිතව දැඩි ලෙස රෝගාතුර වී මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබී ඇති අතර එදිනම රාත්‍රී ඔවුන්ගේ නිවසට හොරු පැන වටිනාදේ පැහැරගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මියගිය ගෙහිමියා මරණයට පත්වන අවස්ථාව වනවිටත් පවුලේ අය රෝගීවී තිබී ඇති අතර 05 වෙනිදා සවස අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන් විසින් මරණකරුගේ නිවස දොරගුලූ දමා වසා දමා ඇත. මේ අතර නිවසේ ඇති කරන සුනඛයාට ආහාර ලබාදීම පිණිස පෙරේදා (06) උදේ ඥාතියෙකු එම නිවසට ගොස් ඇති විට නිවසේ දොරවල් විවෘත කර තිබෙන අයුරු දැක අසල්වාසීන් සමඟ එක්ව කළ සොයා බැලීමේදී නිවසේ වහලයේ උළු ඉවත්කර නිවසට ඇතුළු වූ සොරුන් නිවස තුළ තිබූ අල්මාරි ඇද දමාඒ තුළ තිබූ මුදල් රන්භාණ්ඩ සහ වෙනත් වටිනා දෑ සොරාගෙන ගොස් ඇති බව දැකගන්නට ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිසිය සිදු කරයි.
0 Comments